මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ දිලාන් සංජන කරුණාරත්න ශිෂ්‍යයා සමත් වී තිබේ. තමන් මෙම ප්‍රතිඵලය කිසිසේත්ම අපේක්ෂා නොකළ බවත්, දිවයිනේ පළමුවැනියා වීම සම්බන්ධයෙන් තමන්ට විශාල සතුටක් දැනෙන බවත් ඔහු ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති දිලාන්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ලබා ගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබා ඇත. අනතුරුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් 'ඒ' සාමාර්ථ නවයක් හිමිකර ගැනීමට ද ඔහු සමත් විය. ඔහුගේ පියා වන ලසන්ත කරුණාරත්න මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර, මව වන දිල්කා සරණසිංහ මහත්මිය විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්නීය. ඇය මේ වන විට පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරනු ලබයි.
විභාගය සඳහා මුහුණ දීමේදී තමන් අනුගමනය කළ සැලසුම පිළිබඳව විස්තර කළ දිලාන් සඳහන් කළේ, පාසලේ මෙන්ම අමතර පන්තිවල වැඩ කටයුතු ද කල් නොදමා එදිනෙදා නිසි පරිදි සිදු කළ බවයි. විභාගයට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට හැකි වූ බැවින්, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට තමන්ට වැඩි කාලයක් ලැබුණු බව ද හෙතෙම පැවසීය. තම මවගේ අඩිපාරේ යමින් අනාගතයේදී වෛද්‍යවරයෙකු වී රටට විශිෂ්ට සේවාවක් සැලසීම ඔහුගේ ප්‍රධානතම බලාපොරොත්තුව වී තිබේ.
අනාගතයේදී විභාගයට මුහුණ දීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔහු ලබා දෙන ප්‍රධානතම උපදේශය වන්නේ, දිනපතා පාසල් ගොස් එහි අධ්‍යාපන කටයුතුවලට සහභාගී වන ලෙසත්, ලබා දෙන වැඩ කටයුතු නිසි පිළිවෙළකට එදිනෙදා අවසන් කිරීමෙන් අනිවාර්යයෙන්ම තම අපේක්ෂිත ජයග්‍රහණ කරා ළඟා විය හැකි බවත්ය. මෙම දැවැන්ත ජයග්‍රහණය පිටුපස නිබඳවම සිටි තම මවුපියන් මෙන්ම, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අනුල විජේවර්ධන, පන්ති භාර ගුරුතුමා වන අමල් ගුණරත්න ඇතුළු වළනි කලවාන, දුලානි, විකුම් සෙනෙවිරත්න, රංග හෙට්ටිගේ සහ අචලා ධර්මවික්‍රම යන සියලුම ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට ඔහු සිය හෘදයාංගම කෘතවේදීත්වය පළ කළේය.
සිය පුතුගේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, එය දරාගත නොහැකි තරමේ ඉමහත් සතුටක් ගෙන දෙන්නක් බවත්, දිලාන් කළ කැපවීමට දිය හැකි හොඳම ත්‍යාගය ඔහු විසින් මවුපියන්ට ලබා දී ඇති බවත්ය. දිලාන් යනු ආත්මාර්ථකාමීත්වයෙන් තොරව අන් අයව ද සාර්ථකත්වය කරා ගෙන යාමට උදවු කරන ඉතා කරුණාවන්ත හා වාසනාවන්ත දරුවෙකු බව ද ඇය පැවසුවාය. පාසලට පැමිණීමේ ප්‍රතිශතය සියයට 87ක් ලෙස පවත්වා ගත් ඔහු, 12 සහ 13 ශ්‍රේණිවල පැවති සෑම විභාගයකින්ම පාහේ පන්තියේ පළමු ස්ථානය ලබාගෙන ඇති අතර දෙවැනියා වී ඇත්තේ ඉතා කලාතුරකිනි. ඔහු ඉගෙනගත් සෑම පන්තියකම ගුරුවරුන්ගේ ආදරය දිනාගත් ශිෂ්‍යයෙකු වූ බවත්, ගුරුවරුන්ගේ සිත් කිසිදා නොරිදවූ බවත් මව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

