controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

පිලිපීන බිලියඩ් ක්‍රීඩාවේ පියා හෙවත් "බොස් පෙරි" නැතහොත් 'කැරොකි පෙරී' ලෙස විරුදාවලිය ලත් 75 හැවිරිදි සෙෆෙරිනෝ 'පෙරි' මරියානෝ පසුගිය 2026 අප්‍රේල් 28 වැනි අඟහරුවාදා ක්වෙසොන් නගරයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. ඔහු ගමන් කරමින් සිටි සුදු පැහැති මෝටර් රථය පදවාගෙන ගිය 51 හැවිරිදි නෝබර්ටෝ ඔලිමාකෝ නමැති රියදුරා ද මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.සමාජ ශාලා ජාලයක හිමි කරුවෙකු හා පාතාල සබඳතා පැවැත්වූවෙකු ලෙස ප්‍රකට පෙරීගේ අභාවය පිලිපීනය කම්පනයට පත්කරවන්නට හේතු විය.





මෙම ඝාතනය සිදුව ඇත්තේ දහවල් කාලයේ දැඩි රථවාහන තදබදයක් පවතින 'ටියොමොග්' මාවත සහ EDSA හි මංසන්ධිය අසලදී වන අතර, යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනාගෙන් හිස්වැසුමක් පැළඳ සිටි අයෙකු මෝටර් රථය අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ රියදුරා ඊස්ට් ඇවනියු වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මරියානෝ රෝහල්ගත කිරීමෙන් සුළු මොහොතකට පසු අවසන් හුස්ම හෙළීය.

ක්වෙසොන් නගර පොලිස් දිස්ත්‍රික්කය විසින් මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සීසීටීවී දර්ශන මේ වනවිටත් මාධ්‍යයට නිකුත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ. පිලිපීන ජාතික පොලිසිය පවසන පරිදි සැකකරුවන් සැඟවී සිටිය හැකි ස්ථාන පිළිබඳව මේ වනවිටත් සාර්ථක තොරතුරු ලැබී ඇති අතර, මෙම ඝාතනය ව්‍යාපාරික ආරවුලක් මත සිදුවූවක් දැයි සැක කරන බව කමුනිං පොලිස් ස්ථානාධිපති ලුතිනන් කර්නල් සැකරි කැපෙලන් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්ගෙන් වැඩිදුර තොරතුරු සහ මීට පෙර පැවති මරණ තර්ජන පිළිබඳව විමර්ශනය කරමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.




වෘත්තීය බිලියඩ් ක්‍රීඩකයෙකු නොවුණද, දශක හතරකට වැඩි කාලයක් පුරා පිලිපීන බිලියඩ් ක්‍රීඩාව ලෝක මට්ටමට ඔසවා තැබීම සඳහා අමිල මෙහෙවරක් ඉටු කළ මරියානෝ, Bugsy Promotions ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම Lucky Break බිලියඩ් ශාලාවේ හිමිකරුවා ද වෙයි. ඔහු සමාජ ශාලා, කැරෝකේ සහ ඩිස්කෝ හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් එරට විනෝදාස්වාද කර්මාන්තය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ව්‍යාපාරිකයෙකි.

ඩෙනිස් ඔර්කුලෝ, කාලෝ බියාඩෝ, ජොහාන් චුවා සහ රොනී අල්කානෝ වැනි ලෝක ශූරයන් රැසක් බිහිකිරීමේ නියමුවා වූයේ ද මරියානෝ ය. ඔහු නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව, මූල්‍ය අනුග්‍රහය සහ ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථා ලබා දුන් අතර, වයස අවුරුදු 16 දී ජොහාන් චුවාට ඉන්දුනීසියාවේ පැවති තරඟාවලියක් සඳහා සහභාගී වීමට පවා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබේ. ඔහුගේ අඩිපාරේ යමින් ඔහුගේ පුත් හැඩ්ලි මරියානෝ මේ වනවිට Sharks Billiards Association හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් පිලිපීන බිලියඩ් ක්‍රීඩාව වෙනුවෙන් තවදුරටත් සේවය කරමින් සිටී.



මරියානෝගේ හදිසි වියෝව හේතුවෙන් පිලිපීන බිලියඩ් ක්‍රීඩා ක්ෂේත්‍රය මහත් කම්පනයට පත්ව ඇති අතර වත්මන් ලෝක බිලියඩ් ශූර කාලෝ බියාඩෝ, ජොහාන් චුවා සහ පිලිපීන බිලියඩ් හා ස්නූකර් සම්මේලනයේ සභාපති ඇරිස්ටියෝ පුයාට් ඇතුළු ක්‍රීඩකයන් සහ නිලධාරීන් රැසක් ඔහු ක්‍රීඩාවට කළ මෙහෙවර අගයමින් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ. "බොහෝ දෙනෙකුට ඔහු පිලිපීන බිලියඩ් ක්‍රීඩාවේ යෝධ කුළුණක් වුවද, මට ඔහු මගේ ආදරණීය පියා පමණක්ම විය" යනුවෙන් ඔහුගේ පුත් හැඩ්ලි මරියානෝ සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් එක් කරමින් සිය පියාට අවසන් ගෞරව දක්වා ඇත.

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry

controversy-in-the-philippines-due-to-the-killing-of-karoki-perry