සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බාල පුත්‍රයා වන බෙලර්මින් චටුංගා මුගාබේට දකුණු අප්‍රිකානු අධිකරණයක් විසින් දැවැන්ත දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුව එරටින් පිටුවහල් කිරීමටද නියෝග කර තිබේ. සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකු බියගැන්වීම සහ දකුණු අප්‍රිකානු සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මොහුට මෙම දඬුවම නියම වී ඇත.
විසි හැවිරිදි වියේ අග භාගයේ පසුවන චටුංගා මුගාබේ සහ තවත් පුද්ගලයෙකු පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට පත් වූයේ ජොහැනස්බර්ග් නුවර පිහිටි මුගාබේ රැඳී සිටි සුඛෝපභෝගී නිවසක සේවකයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනි. අත්අඩංගුවට ගත් දා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොවුන් දෙදෙනාම පැමිණිලි පාර්ශ්වය සමඟ ඇති කරගත් එකඟතාවයක් මත සියලු චෝදනාවලට වරද පිළිගෙන තිබුණි. කෙසේ වෙතත්, මුගාබේ දකුණු අප්‍රිකානු සංක්‍රමණික නීති උල්ලංඝනය කළේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති අතර, සෙල්ලම් පිස්තෝලයක් පෙන්වීමේ චෝදනාව ඉහත කී සේවකයාට වෙඩි තැබීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් සිදුවීමක් බව සඳහන් වේ.
අධිකරණ තීන්දුවට අනුව, සෙල්ලම් පිස්තෝලය පෙන්වීමේ වරදට රැන්ඩ් 400,000 ක (ඇමරිකානු ඩොලර් 24,100) දඩයක් සහ සංක්‍රමණික නීති කැඩීම වෙනුවෙන් තවත් රැන්ඩ් 200,000 ක දඩයක් මුගාබේ වෙත නියම කෙරිණි. මේ අතර, ඔහු සමඟ අත්අඩංගුවට ගත් ටෝබියාස් මටොන්හොඩ්සේ නමැත්තා සේවකයාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ යුක්තිය පසිඳලීමට බාධා කිරීම වැනි චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වසර තුනක සිරදඬුවමකට යටත් කර ඇත. එකී සිරදඬුවම ගෙවා නිම වූ පසු ඔහුවද දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කෙරෙනු ඇත.
මෙම වෙඩි තැබීමෙන් පිටුපසට වෙඩි උණ්ඩ දෙකක් වැදී තුවාල ලැබූ සේවකයාට වන්දි වශයෙන් රැන්ඩ් 250,000 ක මුදලක් මේ වන විටත් ලබා දී ඇති බවත්, තවත් රැන්ඩ් 150,000 ක මුදලක් ඉදිරියේදී ලබා දීමට නියමිත බවත් විමර්ශන නිලධාරියා විසින් පසුගිය සතියේදී ඇලෙක්සැන්ඩ්‍රා මහේස්ත්‍රාත් අධිකරණයේදී තහවුරු කරන ලදී. එසේ වුවද, වෙඩි තැබීමට යොදාගත් සැබෑ ගිනි අවිය තවමත් සොයාගෙන නොමැත. මෙම සිද්ධියට මුහුණ දී සිටින චටුංගාගේ පියා වන රොබට් මුගාබේ, 1980 වසරේදී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු වසර 37 ක් පුරා සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ අතර, 2017 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරුණු ඔහු 2019 දී සිංගප්පූරුවේ රෝහලකදී වයස අවුරුදු 95 ක්ව සිටියදී මිය ගියේය.
