cid-begins-investigation-into-coal-company---police-security-deployed-at-kohuwala-office

වර්ෂ 2009 සිට මේ දක්වා මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කරන ලද නිල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.




විවිධ විගණන වාර්තා හරහා සහ පාර්ලිමේන්තු විවාදයන්හිදී ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වූ බරපතළ ගැටලු සහ චෝදනා පදනම් කරගනිමින් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව ගත වූ වසර පහළොවක පමණ කාලය තුළ සිදු කෙරුණු සියලුම ගල් අඟුරු ආනයන ක්‍රියාවලීන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමග කොහුවල සුරනිමල පෙදෙසේ පිහිටි ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට අද පස්වරුවේ පියවර ගෙන ඇත. අදාළ කාර්යාල පරිශ්‍රයට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසන අතර, එහි ආරක්ෂාව සඳහා කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබේ.




මේ අතර, මෙම ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව සොයා බැලීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අවසන් වීමෙන් පසුව අදාළ කොමිසම ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර, එහි විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.