පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් හඹාගොස් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශය ඊයේ (21) සවස සමත් විය. එම ලොරි රථය සෝදිසි කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්පෙති දෙලක්ෂ දහසයදහසක් (216,000) පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.
මාදම්පේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් ජයතිලක (84566) මහතාට ලැබුණු නිශ්චිත තොරතුරක් මත මෙම හදිසි රථවාහන මෙහෙයුම දියත් කර ඇත. එහිදී එළවළු පටවාගෙන ආ අදාළ ලොරි රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් සංඥා කළ ද, රියදුරු එය නොතකා ඉදිරියටම ධාවනය කර ඇති බැවින් නිලධාරීන් විසින් රථය පසුපස හඹාගොස් එය සිය භාරයට ගෙන තිබේ.
අනතුරුව අත්අඩංගුවට ගත් ලොරිය වැඩිදුර පරීක්ෂණ සඳහා මාදම්පේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත. එහිදී එළවළු අඩංගු ගෝනිවලට යටින් සඟවා තිබූ සැකකටයුතු පෙට්ටි තුනක් නිලධාරීන්ට හමුවී ඇති අතර, සාමාන්‍ය ඖෂධ අසුරන ආකාරයෙන් සකස් කර තිබූ එම එක් පෙට්ටියක මත්පෙති 72,000 ක් බැගින් සමස්ත පෙති 216,000 ක ප්‍රමාණයක් අඩංගු වී ඇති බව තහවුරු විය.
මෙම නීතිවිරෝධී මත්පෙති තොගය කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශයේ සිට කොළඹ දක්වා රැගෙන යමින් තිබූ බව මූලික පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත. මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවන් හට මත්ද්‍රව්‍ය සපයාගත නොහැකි අවස්ථාවලදී ආදේශකයක් ලෙස මෙම පෙති වර්ගය භාවිතයට ගනු ලබන බව පොලිසිය පෙන්වා දෙයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

