leaving-behind-a-mystery-abandoned-train-carriages-near-galles-black-bridge-were-set-on-fire

දශක එකහමාරක් තිස්සේ බලධාරීන්ගේ ඇස් මානයෙන් වසන් වී, මලකඩ කමින් දිරාපත් වෙමින් තිබූ යකඩ සැකිලි ගිනි ජාලාවකට මැදිව දැවී අළු වී ගියේ ඒ තුළ සැඟව තිබූ කළු රහස් ද සමගිනි.




ගාල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ඓතිහාසික කළු පාලම අසල ගාල් කර තිබූ, භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි දෙකක් පසුගියදා රාත්‍රියේ හදිසියේම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.

මේවා හුදෙක් හිස් යකඩ කූඩු පමණක්ම නොවීය. මීට වසර පහළොවකට පමණ පෙර ධාවනයෙන් ඉවත් කර පසෙකට දමා තිබූ මෙම දුම්රිය මැදිරි පහ, කාලයාගේ ඇවෑමෙන් ප්‍රදේශවාසීන්ට මහත් හිසරදයක් බවට පත්ව තිබුණේ විවිධ අපචාර සහ සමාජ විරෝධී ක්‍රියාවල තිප්පොළක් බවට පත්වෙමිනි. මෙම මලකඩ කන සුසානය එතැනින් ඉවත් කරන ලෙස ගාල්ල දුම්රිය ස්ථානයේ බලධාරීන් කීප විටක්ම අදාළ අංශ වෙත ලිඛිතව දැනුම් දී තිබුණ ද, ඒ කිසිදු ඉල්ලීමකට නිසි ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත.




මෙම අඳුරු මැදිරි හදිසියේම ගිනි ගත්තේද, නැතහොත් එහි සිදුවූ නීති විරෝධී ක්‍රියාවල සාක්ෂි විනාශ කර දැමීම සඳහා කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් හිතාමතාම ගිනි තබන ලද්දේද යන්න තවමත් අභිරහසකි. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ ද, ගින්නට සැබෑ හේතුව තවමත් සැඟවී ඇත්තේ ඒ අළු ගොඩවල් අතරය. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ (SOCO) ද සහාය ඇතිව ගාල්ල පොලිසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් අරඹා ඇති අතර, අවසන් නිගමනය සඳහා රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තුරු බලා සිටීමට සිදුවනු ඇත.

බලධාරීන් වසර ගණනාවක් තිස්සේ නොදැක්කා සේ මඟහැර ගිය සමාජයේ කුණු කන්දල් නිලධාරීන්ගේ ඇස් පාදමින් එළියට දැමීමට, අවසානයේදී මෙවැනි මහා ගින්නක්ම අවශ්‍ය වීම දෛවයේ සරදමකි.

leaving-behind-a-mystery-abandoned-train-carriages-near-galles-black-bridge-were-set-on-fire

leaving-behind-a-mystery-abandoned-train-carriages-near-galles-black-bridge-were-set-on-fire