මුදල් මතම යැපෙන, මිනිස්කම පිරිහෙමින් පවතින සමාජයක, යුද හමුදා නිල ඇඳුමකට මුවා වූ උතුම් මනුෂ්‍යත්වයක් මහමඟදී මුණගැසුණහොත් ඔබ කුමක් සිතනු ඇත්ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියන්මාර ජාතික 'ඤානෝ' නම් ස්වාමීන් වහන්සේ නමකට අස්ථානගත වූ රුපියල් අසූදහසකට අධික මුදලක් සහ අතිශය වැදගත් ලියකියවිලි සහිත මුදල් පසුම්බියක්, යළිත් ඒ හිමියන්ගේම දෑතට සුරක්ෂිතව පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළෙකු පසුගියදා කටයුතු කර තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමට විදේශීය හිමිනම මුහුණ දී තිබුණේ පසුගිය 06 වැනිදාය. පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් තුළදී උන්වහන්සේගේ මුදල් පසුම්බිය කිසියම් අයුරකින් අතුරුදන් වී තිබිණි. මහජනතාව ගැවසෙන බස් රථයක් තුළ එතරම් වටිනාකමක් ඇති පසුම්බියක් වැටී තිබුණහොත් එය නැවත ලැබෙයි කියා කිසිවෙකුත් අපේක්ෂා නොකරන තරම්ය. නමුදු, එම බස් රථයේම ගමන් ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කේ.කේ.පී.කේ. රත්නායක මහතාගේ නෙත ගැටුණු ඒ අගනා වස්තුව, වෙනත් අයෙකුගේ සාක්කුවට නොගොස් සෘජුවම එහි නියම අයිතිකරු සොයා ගියේය.
අනුන්ගේ දෙයක් තම සන්තකයේ තබාගැනීමට කිසිදු කැමැත්තක් නොදැක්වූ මෙම අවංක සෙබළා, පසුම්බිය හමුවූ වහාම ක්‍රියාත්මක විය. ඔහු මේ පිළිබඳව ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක ස්වාමීන් වහන්සේව දැනුවත් කිරීමට පියවර ගත් අතර, අනතුරුව උන්වහන්සේගේද මැදිහත්වීම මත අදාළ මියන්මාර ජාතික හිමිනම සම්බන්ධ කරගැනීමට ඔහුට හැකි විය. ඒ අනුව ගොඩගම පුරාණ විහාරස්ථානයට පැමිණි විදේශීය හිමිනමට සිය දේපළ සියල්ල කිසිදු අඩුවකින් තොරව යළි ලබාදීමට මෙම සෙබළා කටයුතු කළේය.
රුපියල් අසූදහසක් යනු පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඕනෑම අයෙකුගේ සිත වෙනස් කිරීමට සමත් මුදලකි. අනෙක් අතට, තමන් නොදන්නා රටකදී තම වටිනා ලියකියවිලි අහිමි වීමෙන් විදේශිකයෙකු පත්වන අසරණභාවය වචනයෙන් විස්තර කළ නොහැකිය. තම ඇස් ඉදිරිපිට තිබූ ඒ මුදලට කෑදර නොවූ ලාන්ස් කෝප්‍රල් රත්නායක, සිය ක්‍රියාවෙන් යුද හමුදා නිල ඇඳුමට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය නාමයටම එක් කළේ ඉමහත් ගෞරවයකි.
ආදර්ශමත් සෙබළාගේ මෙම විනයගරුක බව සහ අවංකභාවය මියන්මාර හිමිනමගේත්, විහාරාධිපති හිමියන්ගේත් ඉහළම පැසසුමට ලක්වූ අතර, මෙය සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම මුළුමහත් සමාජයටම ලබාදෙන්නේ කදිම පණිවිඩයකි.
සැබෑ වීරත්වය පවතින්නේ යුද බිමේ සතුරන් පරාජය කිරීමේ පමණක් නොව, කෑදරකම පරාජය කරමින් තමන්ගේම හෘදසාක්ෂියට අවංක වීමේ ද පවතින බව මේ අභිමානවත් සෙබළා මුළු රටටම නිහඬවම ඔප්පු කර අවසන්ය.



