
බටහිර බෙංගාලයේ දේශපාලන කරළියට මේ දිනවල අමුතුම සුවඳක් වහනය වෙමින් තිබේ; ඒ බලය වෙනුවෙන් කෙරෙන ප්‍රතිපත්තිමය කතාබහට වඩා ජනතා හදවත් පාරාගෙන යන මාළු සුවඳයි.
මහ මැතිවරණ උණුසුම මැද, භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා ඡන්දදායකයින් හමුවට යන්නේ මුද්‍රිත ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට අතින් ගත් විශාල මාළුවෙකු ද සහිතවය. බැරැක්පූර්හි අපේක්ෂක කෞස්තව් බග්චි සහ කොල්කටා නුවර අපේක්ෂක රාකේෂ් සිං, උදෑසනම බෙර හඬ මධ්‍යයේ මාළුවෙකු ඔසවාගෙන ජනතාව අතරට යන්නේ වචනයෙන් කරන දේශනයකට වඩා ‘මමත් ඔබගෙන්ම කෙනෙක්’ යන්න දෘශ්‍යමානව පෙන්වා දීමේ උපක්‍රමයක් වශයෙනි.
ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට එළවළු පමණක් ආහාරයට ගන්නා සංස්කෘතියක් හඳුන්වා දීමට උත්සාහ කරන බවට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට දිගින් දිගටම චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම ගව ඝාතනයට එරෙහිව ඔවුන් ගෙන යන දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් එම පක්ෂය නිර්මාංශිකත්වයේ සංකේතයක් ලෙස සමාජය තුළ මුද්‍රා තැබී ඇත. එහෙත්, බෙංගාල වැසියන්ට මාළු යනු හුදෙක් උදෑසන හෝ රාත්‍රී ආහාර වේලට එක්වන ව්‍යංජනයක් පමණක්ම නොවේ; එය ඔවුන්ගේ ඉතිහාසයට, සංස්කෘතියට, මතකයන්ට සහ එදිනෙදා ජීවිතයට බද්ධ වූ සංවේදී අනන්‍යතාවයකි. බෙංගාලයේ ජනගහනයෙන් 65.7% ක් පමණ සතියකට වරක් හෝ මාළු ආහාරයට ගන්නා බව මෑතකදී කරන ලද සමීක්ෂණ පවා පෙන්වා දෙයි.
මෙම සංස්කෘතික බැඳීම සහ භීතිකාව දේශපාලන ආයුධයක් කරගත් ප්‍රධාන අමාත්‍ය මමතා බෙනර්ජි, විපක්ෂය බලයට පැමිණියහොත් බෙංගාල වැසියන්ට මාළු කෑමට පවා තහනම් වනු ඇතැයි පවසමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළාය. තම පක්ෂය යටතේ පාලනය වන බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් වැනි ප්‍රාන්තවල මාළු කෑම තහනම් කර ඇති BJP ය, දිල්ලියේ මාළු වෙළඳසැල්වලට පවා පහර දෙන බවට ඇය චෝදනා කළේ දැඩි ආවේගයකිනි. කෙසේ වෙතත්, මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන BJP අපේක්ෂකයින් පවසන්නේ, මෙය පාලක පක්ෂයේ දූෂණ වසා ගැනීමටත් ජනතාව නොමඟ යැවීමටත් ගොතන ලද අසත්‍ය කථාවක් බවයි.
තමා අන්ත නිර්මාංශිකයෙකු වුවද අගමැති මෝදි පවා මෙම අමුතු ‘මාළු දේශපාලනයට’ අවතීර්ණ වූයේ, වසර 15ක් බලයේ සිටියද බෙංගාලයේ මාළු අවශ්‍යතාවය ප්‍රාන්තය තුළින්ම සපයා ගැනීමට මමතාගේ රජය අපොහොසත් වී ඇති බවට පෙරළා චෝදනා කරමිනි. ප්‍රාන්තයේ මාළු අවශ්‍යතාවයෙන් 80% ක්ම දේශීයව සපයා ගන්නා බව පවසමින් මමතා ඊට කඩිනමින් පිළිතුරු දුන්නද, දැන් දෙපාර්ශවයම මාළුවා යොදාගන්නේ තමන්ගේ ආර්ථික සහ සංස්කෘතික ආධිපත්‍යය පෙන්වීමේ තුරුම්පුවක් ලෙසිනි.
බෙංගාලයේ මාළු යනු දේශපාලන කඹ ඇදීමක් පමණක්ම නොවන අතර, එය සාහිත්‍යයේ සිට ක්‍රීඩාව දක්වාම දිවයන ගැඹුරු පන්තිමය සංකේතයකි. මාණික් බන්ද්‍යෝපාධ්‍යාය සහ අමිතව් ඝෝෂ් වැනි ලේඛකයින්ගේ කෘතිවල පවා මාළුවා සහ බෙංගාල ජන ජීවිතය අතර ඇති අවියෝජනීය බැඳීම මැනවින් නිරූපණය වේ. ඉන්දියානු පාන්දු පිටියේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ඊස්ට් බෙංගාල් සහ මෝහන් බගාන් කණ්ඩායම්වල රසිකයින් පවා තමන් ප්‍රිය කරන මාළු වර්ග හරහා තම අනන්‍යතාවය සහ පන්ති භේදය පෙන්නුම් කරති. ඉතිහාසඥ ජයන්තා සෙන්ගුප්ත පවසන පරිදි, දේශපාලන පක්ෂවලට මෙම ගැඹුරු සංකේතාත්මක අගය කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බැවින් ඔවුන් එය තම මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රධානතම අංගය බවට පත් කරගෙන තිබේ.
භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත සභාපති සමික් භට්ටාචාර්ය, මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන මැයි 4 වැනිදා තමන් සමඟ බැදපු මාළු කෑමට පැමිණෙන ලෙසට මාධ්‍යවේදීන්ට දැනටමත් ආරාධනා කර තිබේ. මැතිවරණ වේදිකාවේ කුමන ප්‍රතිපත්ති ගැන කතා කළද, අවසානයේ ඓතිහාසික බෙංගාලයේ බලය තීරණය කිරීමේ තරාදියේ බර තීරණය කරන්නේ දේශපාලන දර්ශනයක් ද, නැතහොත් ජනතාවගේ හදවතට සමීප සංස්කෘතික අනන්‍යතාවය ද යන්න තවමත් ඇත්තේ නොවිසඳුණු ගැටලුවක් ලෙසිනි.

