maradana-railway-station-which-was-renovated-in-the-first-phase-in-07-months-is-in-peoples-ownership

ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 'සිහින ගමනාන්තය' දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, මරදාන දුම්රිය ස්ථානයේ සිදුකෙරුණු නවීකරණ කටයුතුවල පළමු අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව, මගී ජනතාව වෙනුවෙන් එම නව පහසුකම් විවෘත කරදීම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින සිදු කෙරිණි.




ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, NIO Engineering ආයතනය, සිවිල් සංවිධාන මෙන්ම පෞද්ගලික අංශයේ ද ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මරදාන දුම්රිය ස්ථාන අලුත්වැඩියාවේ පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක පමණ මූල්‍ය ආයෝජනයක් සිදු කර ඇති අතර, එම සම්පූර්ණ පිරිවැය දරනු ලැබුවේ අක්බාර් බ්‍රදර්ස් (Akbar Brothers) පෞද්ගලික සමාගම විසිනි.

වසර සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක්ව තිබුණේ නැත. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මාස හයක පමණ කාලයක් තුළ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා විධිමත්ව සිදු කර තිබේ. විශේෂයෙන්ම ගොඩනැගිල්ලේ දිගු කාලීනව පැවති ජල කාන්දුවට ස්ථිරසාර විසඳුමක් ලබාදෙමින්, වර්ග අඩි දෙදහසකට අධික උඩුමහලේ කොන්ක්‍රීට් වහලය නවීන ඉදිකිරීම් ක්‍රමෝපායන්ට අනුව ජල කාන්දු නොවන ලෙස (Waterproof) ප්‍රමිතිගතව සකස් කර ඇත. මීට අමතරව ආරක්ෂක කැමරා පද්ධති හා විදුලි ආලෝක පද්ධති සවි කිරීම, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත වර්ණ ගැන්වීම මෙන්ම පරිසර අලංකරණ කටයුතු ද මෙම පළමු අදියර යටතේ සිදු කර තිබේ.




දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය මගීන් විශාල පිරිසක් දෛනිකව මරදාන දුම්රිය ස්ථානයට පැමිණෙති. ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානය තවත් අදියර කිහිපයක් යටතේ ඉදිරියටත් නවීකරණය කිරීමට සැලසුම් කර ඇත. පළමු අදියර යටතේ වැඩිදියුණු කරන ලද ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා විසින්, මෙහි ඉදිරි නවීකරණ කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ද ලබා දෙන ලදී.



gossiplanka collage