
විදේශගතව සැඟවී සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කොණ්ඩ රංජි' නමැත්තා සමග එක්ව මහා පරිමාණ මත්කුඩු ජාලයක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මේ වන විට ශ්‍රී ලංකාවෙන් පලා ගොස් තිබේ. අදාළ කොට්ඨාසයේ ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකුගේ දැඩි විශ්වාසය දිනාගත් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මෙම කොස්තාපල්වරයා කාලයක පටන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට පොලිස් විමර්ශන මගින් මේ වන විට තහවුරු කරගෙන ඇත.
අදාළ කොස්තාපල්වරයා විසින් කොණ්ඩ රංජිට අයත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති අතර, ඊට අමතරව පොලිස් භාරයට ගැනෙන මත්කුඩු තොග පවා නැවතත් කොණ්ඩ රංජිටම විකුණා ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඉකුත් ජනවාරි මස 29 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ගණේමුල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම කොස්තාපල්වරයා ඇතුළු කණ්ඩායමක් විසින් කිලෝග්‍රෑම් හතරකට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඉන් කොටසක්ද මෙලෙස කොණ්ඩ රංජි වෙත අලෙවි කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම දූෂිත පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය හෙළිදරව් වී ඇත්තේ, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ වෙනත් නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 08 වනදා සිදුකළ සුවිශේෂී වැටලීමක් හරහාය. එහිදී ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 30ක් පමණ වටිනා කොණ්ඩ රංජිට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 946ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක් සමඟ අවුරුදු 40ක් වයසැති ගණේමුල්ලේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
පොලීසිය හමුවේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ එම සැකකරු පවසා ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සිට කොණ්ඩ රංජි ලබාදුන් උපදෙස් මත ජා-ඇළ ප්‍රදේශයට ගොස් රතු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකුගෙන් තමා කොකේන් පාර්සලයක් ලබාගත් බවයි. එම මෝටර් රථයේ පැමිණෙන්නේ පොලිස් නිලධාරියෙකු වන බැවින් කිසිදු බියකින් තොරව ගොස් අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගන්නා ලෙසට කොණ්ඩ රංජි තමන්ට දැනුම් දුන් බවද ඔහු එහිදී හෙළි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) පරීක්ෂා කර අදාළ රතු පැහැති මෝටර් රථයේ අංක තහඩුව හඳුනාගෙන, එය සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී පදනමට වාහන ලබාදෙන ස්ථානයකින් අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින්ම කුලියට ගෙන ඇති බව තහවුරු කරගැනීමත් සමඟම මෙම නිලධාරියා රටින් පලා ගොස් ඇත.
මෙම සිදුවීම් මාලාවට අදාළව පුළුල් කළ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 19 වනදා කොට්ටාව සහ හෝමාගම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තවත් වැටලීම් දෙකක් සිදු කිරීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය කටයුතු කළේය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, හෙරොයින් ග්‍රෑම් 112ක් සහ කොකේන් ග්‍රෑම් 08ක් සමඟ පන්නිපිටිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචි 31 සහ 42 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් භාවිත කළ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

