කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු සහ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ත්‍රිරෝද රථ සොරාගැනීමේ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව අප්‍රේල් 20 වැනිදා හෝමාගම කටුවාන ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී, හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 830ක් සහ සොරාගන්නා ලද ත්‍රිරෝද රථ පහක් සමඟ මෙම බැංකු නිලධාරියාව මුලින්ම නීතියේ රැහැනට කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
කොළඹ ප්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය ලබා ඇති මෙම සැකකරු, කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 'හඳපාන්ගොඩ හඳයා' නමැති ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු සමඟ ඇතිකරගත් සබඳතාවක් හේතුවෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. තම මත්ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ඔහු මෙම සොරකම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයට එක්ව තිබේ. එමෙන්ම, මොහුට එරෙහිව විවිධ අධිකරණවල නඩු විසිඅටක් පමණ විභාග වෙමින් පවතින බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ආරක්ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙස මොහු සොරකම් කරන ලද ත්‍රිරෝද රථ මගින් මෙම ජාවාරම සිදුකර තිබේ. මරදාන ටෙක්නිකල් හන්දිය, නාවින්න ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසල, පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේ සහ අතුරුගිරිය යන ප්‍රදේශවලින් මෙම ත්‍රිරෝද රථ සොරාගෙන ඇති බවට තහවුරු වී ඇත. මෙම බැංකු නිලධාරියාගෙන් ලබාගත් තොරතුරු මත සිදුකළ වැඩිදුර මෙහෙයුම්වලදී, හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අනෙක් සැකකරු හෙරොයින් ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 300ක් ද සමඟින් පිටිපන ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම් සිදුකර ඇත. දෙවනුව අත්අඩංගුවට ගත් තරුණයා ඝාතන හෝ නීතිවිරෝධී ගිනිඅවි ජාවාරම් සඳහා සෘජු සම්බන්ධතාවක් පවත්වන්නේද යන්න පිළිබඳව පොලිසිය මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාම වස විස සහ අන්තරායකර මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඉන් අනතුරුව ඔවුන්ව හෝමාගම, ගංගොඩවිල, කඩුවෙල සහ අලුත්කඩේ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

