harinis-secretarys-husband-is-trying-to-send-children-to-schools

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්වරියකගේ සැමියා බව පවසමින් බොරැල්ලේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ඊයේ (21) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටින වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි.




අදාළ සැකකරු තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙස විදුහල්පතිවරයා හමුවේ පෙනී සිට ඇති අතර, පසුගිය නිදහස් දින සැමරුම් උළෙලේදී තමන් අහසින් පැරෂුට් පිම්මක් පවා සිදුකළ බව පවසමින් විදුහල්පතිවරයාගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර ඇත. එපමණක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් සකස් කරන ලද ගුවන් හමුදා නිලධාරීන්ගේ සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස හඳුන්වා දුන් සිය බිරිඳගේ ව්‍යාජ ඡායාරූපද මොහු විසින් විදුහල්පතිවරයා වෙත ප්‍රදර්ශනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

මෙම වංචනික ක්‍රියාව තවදුරටත් විශ්වාසනීය අයුරින් සිදුකිරීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය හරහා නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබාදීම සඳහා නිවාස පහක් සිය බිරිඳට ලැබී ඇති බව පවසා ඇති සැකකරු, ඉන් නිවාස දෙකක් විදුහල්පතිවරයාට ලබාදිය හැකි බවත් පවසමින් ඊට අදාළ අයදුම්පත් පවා පාසල් බලධාරීන් වෙත ලබාදී ඇත.




කෙසේ වෙතත්, අදාළ පුද්ගලයාගේ හැසිරීම් සහ ප්‍රකාශ පිළිබඳව ඇතිවූ සැකයක් මත විදුහල්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ අග්‍රාමාත්‍ය කාර්යාලය, එවැනි පෞද්ගලික ලේකම්වරියක එහි සේවය නොකරන බවට තහවුරු කරගැනීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරු මීට පෙරද කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත වසර පහක සිරදඬුවමක් විඳි අයෙකු වන අතර, ඔහුට එරෙහිව තවත් නඩු හයක් පමණ විභාග වෙමින් පවතින බවද පොලිසිය අනාවරණය කරයි.



අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති මෙම සැකකරු සම්බන්ධයෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සුපුන් බණ්ඩාර, පොලිස් සැරයන් (36919) චන්දන සහ පොලිස් කොස්තාපල් (29116) කපුකොටුව යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.