
ඩුබායි රාජ්‍යයට පළා ගොස් එහි සැඟවී සිටිමින් මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට සැකකෙරෙන 'සමන් කොල්ලා' නමැති පාතාල නායකයාගේ ප්‍රධාන මූල්‍ය පාලකයා ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මාතර, රොටුඹ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මෙම සැකකරුව පෙරේදා (4) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු සාමාන්‍ය ටයර් සවිකරන ස්ථානයක සේවය කරන අයෙකු වුවද, ඔහු අතිශය සුඛෝපභෝගී දැවැන්ත නිවසක හිමිකරුවෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ නිවසේ සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් විසි නම ලක්ෂ තිස්තුන් දහසක (2,933,000) නීතිවිරෝධී මුදලක් සහ විවිධ බැංකු ගිණුම්වලට අයත් කාඩ්පත් තිහක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම සුඛෝපභෝගී නිවස මෙන්ම එම විශාල මුදල ද මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් ඒවා ද යන්න පිළිබඳව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම සාර්ථක වැටලීම සිදුකර තිබේ. 'සමන් කොල්ලා' ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග මීට දින කිහිපයකට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ප්‍රධාන මූල්‍ය පාලකයා ලෙස සැලකෙන අලුතින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කර මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පොලිසිය විසින් ඊයේ දින ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ද ලබාගෙන ඇත.

