යුගයක නිමාව සනිටුහන් කරමින් අද්විතීය තරුවක් වේදිකාවෙන් සමුගන්නා විට මුළු ලොවම කඳුළු සලන නමුත්, ඇගේ නික්ම යාම වෙනුවෙන් හඬා වැටෙනවා වෙනුවට එය උත්සවශ්‍රීයෙන් සමරන ලෙසට කෙරෙන අපූරු ආරාධනයක් මේ දිනවල කලා ලොවේ කතාබහට ලක්වෙමින් තිබේ.
අප්‍රේල් 12 වැනිදා සිදුවූ අසහාය ගායිකා ආශා බෝස්ලේගේ අභාවයත් සමඟ සමස්ත බොලිවුඩයම දැඩි ශෝකයකින් පසුවන මොහොතක, ජනප්‍රිය ගායක සෝනු නිගම් විසින් මෙම අදහස ඉදිරිපත් කර ඇත. සිය මුළු ජීවිතයම සංගීතය වෙනුවෙන් කැප කළ, අවසන් හුස්ම හෙළන තුරුම කලාවේ නිරත වූ ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිනියගේ ජීවිතය ශෝකයෙන් වැලපීමට වඩා අභිමානයෙන් සැමරිය යුතු එකක් බව ඔහු පවසයි.
ආශා බෝස්ලේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් එක්කරමින් සෝනු නිගම් සිය අතීත මතකයන් අවදි කර තිබුණේ ඉතා හැඟුම්බරවය. ඇයගේ උගුරේ ආබාධයක් තිබියදීත් නොනැවතී ගායනා කළ අයුරු සිහිපත් කළ ඔහු, ඇමරිකානු සංචාරයක් අතරතුරදී ඇගේ විලුඹේ ඇතිවූ වේදනාකාරී රෝගී තත්ත්වයකදී තමා ඇයට ප්‍රතිකාර කළ අන්දමද සංවේදීව ප්‍රකාශ කළේය. සිය මවද මෙවැනිම රෝගී තත්ත්වයකින් පීඩා විඳි නිසා ඒ පිළිබඳව හොඳින් දැන සිටි සෝනු, එදින ඇගේ පාද සම්බාහනය කරමින් ලබාදුන් සහනය ආශා බෝස්ලේ වසර ගණනාවකට පසුවත් කෘතවේදීව සිහිපත් කළ බව ඔහු පවසන්නේ අතීතයට දිව යමිනි.
1940 දශකයේ අගභාගයේදී මරාති චිත්‍රපටයකින් සිය සංගීත ගමන අරඹා, 1948 දී 'චුනාරියා' චිත්‍රපටයේ 'සාවන් ආයා' ගීතයෙන් හින්දි සිනමාවට පියනැගූ ඇය, ඉන්දියානු චිත්‍රපට සංගීතයට නව අනන්‍යතාවක් ලබා දුන් දැවැන්තයන්ගේ පරම්පරාවේ අවසන් පුරුක විය. මීට වසර දෙකකට පෙර සිය 90 වැනි වියේදී පවා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ගීත ගායනා කරමින් ඇය සිය කලාවට ඇති අප්‍රමාණ ආදරය සහ කැපවීම ලොවටම ඔප්පු කර පෙන්වූවාය.
බොලිවුඩයේ රන්වන් යුගයක අවසන් රණශූරිය ලෙස හැඳින්විය හැකි ඇයගේ නික්ම යාමත් සමඟ පැරණි සංගීත පරිච්ඡේදයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව සෝනු නිගම්ගේ අදහසයි. දැඩි පෞරුෂයකින් හෙබි, සියලු දෙනාටම ගුරුවරියක් වූ ඇය වැනි කලාකාරිනියකගේ අඩුව කෙසේ පිරවිය හැකිද යන්න අදටත් පිළිතුරක් නොමැති ගැටලුවක් බවට පත්ව තිබේ. අවසන් මොහොත දක්වාම වේදිකාවේ රැඳී සිටිමින් ඕනෑම කලාකරුවෙකු ප්‍රාර්ථනා කරන ආකාරයේ පරිපූර්ණ ජීවිතයක් ගත කළ ඇය වෙනුවෙන් හඬා වැටීම සාධාරණද යන පැනය සෝනු නිගම් විසින් සමාජය හමුවේ තබා ඇත.
ඇගේ භෞතික කය නික්ම ගියද, දශක අටකට ආසන්න කාලයක් මුළු මහත් ලෝකයක්ම සනසාලූ ඒ අමරණීය ස්වරය කිසිදා නිහඬ කළ නොහැකි වනු ඇත.

