arrest-harshana-suriyapperuma---maithri-gunaratne

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදලක් අතුරුදන් වීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශයේ මෙන්ම භාණ්ඩාගාරයේ ද ලේකම්වරයා ලෙස කටයුතු කරන හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කරයි. ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විමර්ශන කටයුතු සිදු කළ යුතු බවයි.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ දැනුවත්භාවයකින් තොරව මෙතරම් විශාල මුදලක් කිසිසේත්ම පිටතට ගෙන යා නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.




නීතියේ පවතින අඩුපාඩු පෙන්වා දීම හැර නීතිඥවරුන් ලෙස තමන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලීසියට, රජයට මෙන්ම පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ පූර්ණ බලතල පවතින බව සිහිපත් කළේය. එහෙත් වත්මන් රජය නිසි පරීක්ෂණයක් සිදු නොකරන්නේ, එසේ කළහොත් කැබිනට් මණ්ඩලයේ සිටින විශාල පිරිසකට සිරගත වීමට සිදුවන බැවින් යැයි ඔහු චෝදනා කළේය. යම් හෙයකින් මෙම සිදුවීම විපක්ෂයේ පාර්ශ්වයක් විසින් සිදු කළේ නම් ඔවුන්ගේ සුරතල් සතුන් පවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවත්, සර්ව සාධාරණ බව පවසන වත්මන් ආණ්ඩුව පට්ටපල් හොරුන්ගෙන් සැදුම් ලද්දක් බවත් ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අතුරුදන් වූ මුදල් නැවත ලබාගත හැකි බවට රජයේ පාර්ශ්වයෙන් සිදුකරන ප්‍රකාශයන් ද මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. අදාළ මුදල් සොරකම් කළ හැකර්වරයා ශ්‍රී ලංකාවේ නොව විදේශ රටක සැඟව සිටින බවත්, මුදල් ලබාගැනීමෙන් පසු ඔවුන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වන බැවින් එම මුදල් නැවත ලබාගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. එම නිසාම හර්ෂණ සූරියප්පෙරුම මහතාව ප්‍රධාන සැකකරු ලෙස වහාම නීතිය ඉදිරියට පැමිණවිය යුතු බව අවධාරණය කළ ඒ මහතා, එසේ නොවුණහොත් මෙම දැවැන්ත මූල්‍ය වංචාව වෙනුවෙන් කවරෙකු හෝ අහිංසක පහළ මට්ටමේ සේවකයෙකු බිල්ලට දී සැබෑ වැරදිකරුවන් නීතියෙන් ගැලවී යාමේ දැඩි අවදානමක් පවතින බවට ද කරුණු පැහැදිලි කළේය.