විදෙස්ගතව සැඟවී සිටින ප්‍රබල පාතාල නායකයකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අධිකාරිගේ සමන්ත පෙරේරා හෙවත් 'චුවා සමන්ත' නමැත්තාට අයත් මත්කුඩු තොගයක් සඟවා තිබූ රහසිගත ගබඩාවක් වටලෑමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23) පස්වරුවේ සමත් විය. ගල්කිස්ස කඳවල පාරේ පිහිටි නිවසක් තුළ පවත්වාගෙන ගිය මෙම මත්ද්‍රව්‍ය ගබඩාව වැටලීමේදී එහි සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලැබීය.එම වැටලීමේදී පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයේ වර්තමාන වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි නවයකට ආසන්න බවට ගණන් බලා ඇත. මත්ද්‍රව්‍ය තොගය සමග එම ස්ථානයේ සිටි සැකකරුවකු ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. 'ටූටෝන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම සැකකරු අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානියකු ලෙස ක්‍රියා කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ. ඊට අමතරව ඔහු මීට පෙර දේවින්ද නමැති තවත් ජාවාරම්කරුවකු යටතේ ද කලක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙම වැටලීම ක්‍රියාත්මක විය. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවත්, ඒ හරහා මෙම ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයන් පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන පවත්වන බවත් පොලීසිය සඳහන් කරයි.

