මවකගේ සෙනෙහස මිල කළ හැකිද? දරුවෙකුගේ වටිනාකම රුපියල් දහස් ගණනකින් මැනිය හැකිද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පවා කම්පනයක් ගෙන දෙන යුගයක, තමන්ගේම කුසින් වැදූ ලෙයින් මසින් හැදුණු දැරියක සුමාට් ජංගම දුරකථනයකට සහ තවත් සුළු මුදලකට හුවමාරු කළ ඛේදනීය පුවතක් කිලිනොච්චියෙන් ඇසෙයි.කිලිනොච්චිය, ධර්මපුරම් යූනිට් හත ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි මවක සහ ඇයගේ තිස්එක් හැවිරිදි අනියම් ස්වාමිපුරුෂයා විසින් සිය දෙහැවිරිදි කුඩා දියණියව රුපියල් හතළිස් දහසක පමණ මුදලකට කටුනායක ප්‍රදේශයේ කාන්තාවකට විකුණා දැමීමේ අමානුෂික සිද්ධියක් සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. දරුවා මිලදී ගත් ඇවිරියවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාව ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අහිංසක සිඟිත්තිය ද නිරුපද්‍රිතව සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.
මෙම සිදුවීම හුදු ළමා ජාවාරමක් පමණක් නොව, සමාජ ඛේදවාචකයන්හි අඳුරු පැතිකඩ මනාව නිරූපණය කරන්නකි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මව පවසා ඇත්තේ තමන් විකුණා දැමූ දෙහැවිරිදි දැරියත්, ඇගේ සිව් හැවිරිදි වැඩිමහල් සහෝදරියත් යන දෙදෙනාම තැලසීමියා රෝගයෙන් පීඩා විඳින බවයි. වැඩිමහල් දියණියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් බාල දියණිය මුදලට දුන් බව ඇය ප්‍රකාශ කළ ද, ඒ පිටුපස ඇති සැබෑ කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය. දරුවන් නොමැති කටුනායක කාන්තාවකට මෙම දරුවා ලබා දී ඇත්තේ දරුකමට හදාගැනීමේ මුවාවෙනි.
රෝගී දරුවෙකුට ප්‍රතිකාර කිරීමට යැයි පවසමින් දියණිය විකුණා ලබාගත් මුදලින් රුපියල් පහළොස් දහසක් වියදම් කර අනියම් ස්වාමිපුරුෂයාට නව ජංගම දුරකථනයක් මිලදී ගත්තේ ඇයිද යන්න පොලිසිය නැඟූ ප්‍රශ්නය හමුවේ ඔවුන් දෙදෙනාම මුළුමනින්ම නිරුත්තර වී තිබේ. කෙසේ වෙතත්, එම ජංගම දුරකථනයම ඔවුන්ගේ අපරාධයට ප්‍රබල සාක්ෂියක් බවට පත්වීම දෛවයේ සරදමකි. දරුවා විකුණූ බවට එකඟ වූ ලියවිල්ල සහ සිඟිත්තිය අදාළ කාන්තාවට භාරදෙන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් එම ජංගම දුරකථනයේ සටහන්ව තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
ධර්මපුරම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ අවධානය සහ ක්ෂණික පැමිණිල්ල නොවන්නට, මේ අහිංසක ජීවිතයේ ඉරණම කුමක් වනු ඇත්දැයි කිසිවෙකුටත් කිව නොහැකිය. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාම ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය අධිකරණය නියෝග කළ ද, මවකගේ ආදරය අහිමිව ගිය ඒ කුඩා දැරියගේ අනාගතය තවමත් පවතින්නේ සමාජය හමුවේ ඇති නොවිසඳුණු අඳුරු ප්‍රහේලිකාවක් ලෙසිනි.

