දාහතරවන ලියෝ පාප් වහන්සේ සිය ධුර කාලයේ පළමු ප්‍රධාන ජාත්‍යන්තර සංචාරය ආරම්භ කරමින් අද, එනම් 2026 අප්‍රේල් 13 වන සඳුදා රෝමයෙන් පිටත්ව අප්‍රිකානු මහද්වීපය බලා ගමන් ඇරඹූහ. දින එකොළහක් පුරා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී උන්වහන්සේ ඇල්ජීරියාව, කැමරූන්, ඇන්ගෝලාව සහ සමක ගිනියාව යන රටවල් හතරක සංචාරය කිරීමට නියමිත අතර, මෙය ඇල්ජීරියාවට පාප් වහන්සේ නමක් පැමිණෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ද වෙයි.
කිලෝමීටර් 18,000කට ආසන්න දුරක් ආවරණය කරමින් නගර එකොළහක් පුරා විහිදෙන මෙම ගමන සඳහා හෙලිකොප්ටර් ගමන් දෙකක් ද ඇතුළුව ගුවන් ගමන් දහඅටක් සැලසුම් කර ඇත.1955 සැප්තැම්බර් 14 වන දින ඇමරිකාවේ චිකාගෝ නුවර උපත ලද රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් පියතුමා, 2025 මැයි 8 වන දින පාප් ධුරයට පත්වූ අතර, උන්වහන්සේ ඇමරිකාවේ උපත ලද ප්‍රථම පාප් වහන්සේ මෙන්ම ශාන්ත ඔගස්ටින් නිකායෙන් පැමිණි ප්‍රථම පාප් වහන්සේ ද වෙයි. පේරු රාජ්‍යයේ දිගු කලක් මිෂනාරි සේවයේ නිරත වූ උන්වහන්සේ ගෝලීය දකුණ, සංක්‍රමණික ගැටලු සහ අන්තර් ආගමික සබඳතා පිළිබඳව පුළුල් අත්දැකීම් ඇති මධ්‍යස්ථ පරිපාලකයෙකු ලෙස ප්‍රකටය. විශේෂයෙන්ම, ශාන්ත ඔගස්ටින්තුමාගේ උපන්බිම වන වර්තමාන ඇල්ජීරියාවේ හිපෝ පුරාවිද්‍යා භූමියේ සංචාරය කිරීම, ඔගස්ටීනියානු නිකායික පසුබිමකින් පැමිණි දාහතරවන ලියෝ පාප් වහන්සේට ඉතා සංවේදී මෙන්ම පෞද්ගලිකව සමීප අත්දැකීමක් වනු ඇත.
ලෝකයේ සමස්ත කතෝලික ජනගහනයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් මිලියන 288ක් පමණ ජීවත් වන අප්‍රිකාව තුළ කතෝලික දහම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, මෙම සංචාරය හරහා ගෝලීය පල්ලිය තුළ අප්‍රිකාවට ඇති වැදගත්කම මැනවින් අවධාරණය කෙරේ. සාමය, අන්තර් ආගමික සංවාදය (විශේෂයෙන් ක්‍රිස්තියානි සහ මුස්ලිම් සහජීවනය), සංක්‍රමණ, පරිසරය, තරුණ හා පවුල් ජීවිතය, මානව සංවර්ධනය, දූෂණය, සම්පත් සූරාකෑම සහ පශ්චාත්-යටත්විජිත ප්‍රතිසන්ධානය යන කරුණු මෙම සංචාරයේ ප්‍රධාන තේමාවන් බවට පත්ව තිබේ. වතිකානු මාධ්‍ය ප්‍රකාශක මැටියෝ බෲනි සඳහන් කළ පරිදි, දින එකොළහක් පුරා රටවල් හතරක සිදුවන මෙම සංචාරයේදී ඉංග්‍රීසි, ප්‍රංශ, පෘතුගීසි සහ ස්පාඤ්ඤ යන භාෂාවලින් දේශන පැවැත්වීමට නියමිත අතර, සාමය, සංක්‍රමණ, පරිසරය, තරුණ ප්‍රජාව සහ පවුල එහි මූලික අවධානය දිනාගනු ඇත.
විශේෂ ආරක්ෂක විධිවිධාන කිසිවක් නොමැතිව, සාමාන්‍ය වන්දනාකරුවෙකුගේ ස්වරූපයෙන් සිදුකරන මෙම සංචාරයේ කාලසටහනට අනුව දේශන 11ක්, දේව මෙහෙයන් 8ක් සහ සුබපැතුම් 7ක් ඇතුළුව නිල අමතීම් 26ක් සැලසුම් කර ඇත. අප්‍රේල් 13 වන දින ඇල්ජියර්ස් නුවරට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව එරට මහා පල්ලියේ (Great Mosque of Algiers) සිදුකරන සංචාරය අන්තර් ආගමික සහජීවනය උදෙසා වන ප්‍රබල සංකේතයක් වනු ඇති අතර, අප්‍රේල් 16 වන දින කැමරූන්හි බමෙන්ඩා නුවර පවත්වන සාම රැස්වීම ගැටුම් මැද ජීවත් වන ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඉන් අනතුරුව අප්‍රේල් 18 වන දින ඇන්ගෝලාවට පැමිණෙන පාප් වහන්සේ, ඓතිහාසික මුක්සිමා සිද්ධස්ථානයේ (Muxima Shrine) දේව මෙහෙයකට සහභාගී වන අතර, අවසාන වශයෙන් සමක ගිනියාවේ සංචාරය කරමින් දූෂණය, යහපාලනය සහ අධ්‍යාපනය වැනි මාතෘකා පිළිබඳව අවධානය යොමු කරමින් අප්‍රේල් 23 වන දින මලාබෝ ක්‍රීඩාංගණයේ පවත්වන දේව මෙහෙයෙන් පසු නැවත රෝමය බලා පිටත්ව යාමට නියමිතය.



