ඕස්ට්‍රේලියානු යුධ හමුදාවේ 125 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට රජය විසින් 2026 අප්‍රේල් 13 වන දින ඓතිහාසික තීරණයක් ගනු ලැබීය. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් සූසන් මේ කොයිල් ලබන ජූලි මාසයේදී විශ්‍රාම යන ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට්ගේ අනුප්‍රාප්තිකයා ලෙස යුධ හමුදාපතිනියගේ රාජකාරි භාර ගැනීමට නියමිතය.
1901 මාර්තු 1 වන දින ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියානු යුධ හමුදාව සිය 125 වන සංවත්සරය සමරන මෙම වසරේදී සිදු කරන ලද මෙම පත්වීම, හුදෙක් යුධ හමුදාවට පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායටම (ADF) සුවිශේෂී සංධිස්ථානයක් වේ. ඒ, ඕස්ට්‍රේලියානු යුධ, නාවික හෝ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකට නායකත්වය දෙන ප්‍රථම කාන්තාව බවට ඇය පත්වීම හේතුවෙනි.මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ප්‍රකාශ කළේ මෙය සුවිශේෂී ලෙස සටහන් විය යුතු ගැඹුරු ඓතිහාසික මොහොතක් බවයි. වර්තමානයේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල සේවය කරන මෙන්ම අනාගතයේදී ඊට එක්වීමට බලාපොරොත්තු වන සියලුම කාන්තාවන්ට මෙම තීරණය අතිශයින්ම වැදගත් වනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. "ඔබට දැකිය නොහැකි දෙයක් බවට ඔබට පත්විය නොහැක" යනුවෙන් ලුතිනන් ජෙනරාල් කොයිල් විසින්ම මීට පෙර සිදු කරන ලද ප්‍රකාශයක් ද අමාත්‍යවරයා එහිදී උපුටා දක්වන ලදී. 1899 වසරේ සිට කාන්තාවන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සඳහා එක්වී ඇති අතර, වර්තමානය වන විට සමස්ත ආරක්ෂක බලකායෙන් සියයට 19.2ක නියෝජනයක් කාන්තාවන් සතු වේ. ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ ඉතිහාසයේ තරු තුනේ නිලයකට (three-star rank) උසස්වීම් ලැබූ තෙවන කාන්තාව වන්නේ ද ඇයයි.
1970 මැයි 21 වන දින නිව් සවුත් වේල්ස් හි කියෝගල් ප්‍රදේශයේ උපත ලද සූසන් කොයිල්, දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා වේ. 1980 ගණන්වලදී සිය සොහොයුරිය වූ ඇලිස් ඕස්ට්‍රේලියානු යුධ හමුදා ස්වේච්ඡා බලකායේ සංඥා බළකායට එක්වීම, ඇයට ද හමුදා සේවයට එක්වීමට විශාල පෙළඹවීමක් විය. හමුදා ස්ථානමාරුවීම් මත පදනම් වූ සංක්‍රමණික ළමා කාලයක් ගත කළ ඇය, ටැම්වර්ත් හි ඔක්ස්ලි උසස් පාසලෙන් අධ්‍යාපනය ලබා ADFA ශිෂ්‍යත්වයක් දිනා ගත්තාය. 1987 වසරේදී ස්වේච්ඡා බලකායේ 12/16 හන්ටර් රිවර් ලාන්සර්ස් රෙජිමේන්තුවට එක්වෙමින් සිය හමුදා දිවිය ආරම්භ කළ ඇය, 1991 දී ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා ඇකඩමියෙන් (ADFA) විද්‍යාවේදී උපාධියක් ලබා ගනිමින් 1992 වසරේදී රාජකීය ඕස්ට්‍රේලියානු සංඥා බළකායට නිලධාරිනියක ලෙස එක් වූවාය.
වසර 39ක සිය දීර්ඝ හමුදා දිවිය තුළ ඇය සන්නිවේදන, තොරතුරු යුධ මෙහෙයුම් සහ ඒකාබද්ධ මෙහෙයුම් ඇතුළු ජ්‍යෙෂ්ඨ අණදෙන නිලතල රැසක් හොබවා ඇත. 2002 වසරේ නැගෙනහිර ටිමෝරයේ සහ 2004 වසරේ සොලමන් දූපත්වල ක්‍රියාන්විත සඳහා ඇය සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නාය. එසේම, 2014-2015 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනියක ලෙස කටයුතු කළ ඇය, 2020 වසරේදී මැදපෙරදිග ඒකාබද්ධ කාර්ය සාධක බලකායකට (JTF 633) අණ දුන් පළමු කාන්තාව බවට ද පත්වූවාය. 2021-2024 කාලය තුළ තොරතුරු යුධ මෙහෙයුම් ප්‍රධානී සහ හමුදා අණදෙන නිලධාරී වැනි තනතුරු දැරූ ඇය, 2024 ජූලි මාසයේදී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරන ලදී. ඉන් අනතුරුව, අභ්‍යවකාශ සහ සයිබර් වැනි යුධමය වසමකට නායකත්වය දුන් ප්‍රථම කාන්තාව ලෙස ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ ප්‍රධානියා (Chief of Joint Capabilities) ලෙස ද ඇය පත් කරනු ලැබුවාය. ආරක්ෂක අධ්‍යයනය සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන ඇය සිය සේවා කාලය තුළ Order of Australia (AM), Conspicuous Service Cross (CSC), සහ Distinguished Service Medal (DSM) ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
සංගීතමය වේදිකා නාට්‍ය, පොත්පත් කියවීම සහ සංචාරය කිරීම සිය විනෝදාංශ කරගත් ලුතිනන් ජෙනරාල් කොයිල්, රාජකීය ඕස්ට්‍රේලියානු ඉංජිනේරු බළකායේ නිලධාරියෙකු වන මාර්ක් සමඟ විවාහ වී සිටින අතර ඔවුන් දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වේ. ඇයගේ මෙම ඓතිහාසික පත්වීම, ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශයේ ඉහළම නායකත්වයේ සිදු කරන ලද පුළුල් වෙනස්කම්වල එක් ප්‍රධාන කොටසකි. ඊට සමගාමීව, වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් මාර්ක් හැමන්ඩ් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසත්, රියර් අද්මිරාල් මැතිව් බක්ලි නව නාවික හමුදාපතිවරයා ලෙසත් පත් කර ඇති බව රජය විසින් තවදුරටත් නිවේදනය කර ඇත.



