2026 අප්‍රේල් මස 10 වන දින පස්වරු 3:00 ට පමණ පිළියන්දල පොලිස් වසමට අයත් කරදියාන කසළ අංගණයේ හදිසි ගිනිගැනීමක් හටගෙන තිබේ. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහඳවආරච්චි මහතා සඳහන් කරන පරිදි, මෙම ගින්න ආරම්භ වී ඇත්තේ කසළ කන්දේ පොලිතින් ගොඩගසා ඇති කොටසෙනි. මේ වන විට එම ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා විශාල දුමාරයක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.
ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එය මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර ගැනීමට බලධාරීන්ට සිදුවිය. ඒ අනුව, මොරටුව, කෝට්ටේ සහ කොළඹ නගර සභාවලට අයත් ගිනි නිවීමේ ඒකක මෙන්ම පිළියන්දල පොලිසිය ද වහාම එම ස්ථානයට කැඳවා තිබේ. මීට අමතරව, තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද ලබාගෙන ඇති අතර, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගෙමින් පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු ගින්න යම්තාක් දුරකට පාලනය කිරීමට ඔවුන් සමත් වී ඇත.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය මෙම ගින්න හටගැනීමට බලපාන්නට ඇතැයි සැලකෙන අතර, පසුගිය වසරේ ද මේ ආකාරයේම ගින්නක් මෙම කසළ අංගණයේ හටගෙන තිබූ බව සභාපතිවරයා සිහිපත් කළේය. කෙසේ වෙතත්, අද දින ඇති වූ මෙම ගින්නෙන් කසළ කන්දේ මුළු වපසරියෙන් සියයට 15ක පමණ ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී ඇති බව තහවුරු වී තිබේ.
ගින්නෙන් පිටවන දුමාරය විෂ සහිත වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ප්‍රදේශවාසීන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, කරදියාන කසළ අංගණය අවට ඇති අතුරු මාර්ග භාවිත කිරීමෙන් වැළකී ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට සහ පදිකයින්ට දැනුම් දී තිබේ. එමෙන්ම, විෂ දුම ආග්‍රහණය වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය සංකූලතා අවම කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පළඳින ලෙස ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන සමස්ත මහජනතාවගෙන් බලධාරීන් දැඩිව ඉල්ලා සිටියි.



