පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ පවතින කතිකාවතට නව මුහුණුවරක් එක් කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත ''පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' කෘතිය පසුගියදා කොළඹ 7 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්විණි. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ වෙත ඇතැම් දේශපාලන කණ්ඩායම් චෝදනා එල්ල කරන සහ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන පසුබිමක, ගම්මන්පිල මහතා සිය කෘතියෙන් අවධාරණය කරන්නේ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු සහරාන් හෂීම් බවයි.
බුද්ධි අංශ රණවිරුවන්ට පිදුම් කරමින් රචිත මෙම කෘතිය එළිදැක්වීමේ සභාවේදී රට දැය වෙනුවෙන් දිවිපිදූ බුද්ධි මෙහෙයුම් නිලධාරීන්ගේ සේවය ඇගයීමටද ආරාධිතයෝ කටයුතු කළහ.මෙම කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට මුරුත්තෙට්ටුවේ නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම විශාල ජනකායක් එක්ව සිටි අතර, ආණ්ඩුව නියෝජනය කරමින් කිසිවකුත් සහභාගි වී නොතිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් රැසක් ඊට එක්ව සිටියහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, සාගල රත්නායක, නාමල් රාජපක්ෂ, සරත් එන්. සිල්වා, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන චරිත ගණනාවක් එකම වේදිකාවක දක්නට ලැබීම අනාගත විපක්ෂ සන්ධානයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය වූ අතර, එය ආණ්ඩුවේ යම් කලබලයකටද හේතු වී තිබිණි.
උත්සවය අතරතුරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති වූ කැස්සක් හේතුවෙන් ශාලාවේ වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට ගම්මන්පිල මහතා සූදානම් වූවත්, ජනතාවගේ අපහසුතාව සලකා ඊට විරුද්ධ වූ හිටපු ජනාධිපතිවරයා උණු වතුර වීදුරුවක් පමණක් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මීට පෙර මෙම පොතේ ව්‍යාජ පීඩීඑෆ් පිටපතක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ආරම්භ වී තිබුණද කතුවරයා එය උත්සවයේ සාර්ථකත්වයට බාධාවක් කර නොගත්තේය.
මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සහභාගි වීම සම්බන්ධයෙන් එම පක්ෂය අභ්‍යන්තරයේද සංවාදයක් නිර්මාණය විය. උත්සව සභාවේදීම පක්ෂ සභාපති වජිර අබේවර්ධන, දිනිත් චින්තක සහ ධනුක කරුණාරත්න යන මහත්වරුන් අතර මේ පිළිබඳව සාකච්ඡා වූ අතර, හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ අදහස් පිළිනොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නිල මතය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරන බවත් වජිර අබේවර්ධන මහතා එහිදී සඳහන් කළේය. මේ අතර එජාප නියෝජිතයන්ගේ සහභාගිත්වය පිළිබඳව පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා සිය දැඩි අප්‍රසාදය පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ තමන් එම උත්සවයට සහභාගි නොවන බවත් පක්ෂ නායකයන්ගේ සහභාගිත්වය ගැන කනගාටු වන බවත්ය.
සමගි ජන බලවේගයේ නායකයින් මෙම අවස්ථාවට එක්වීම එම පක්ෂය තුළද දැඩි මතගැටුමකට මුලපිරීය. පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි පක්ෂය දරන මතයට පටහැනි උත්සවයකට සහභාගි වීම සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් සහ නලින් බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගෙන් දැඩිව ප්‍රශ්න කර තිබුණි. ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ තමන් එහි ගියේ ආරාධනාවකට අනුව විපක්ෂ නායකවරයාගේ යුතුකම ඉටු කිරීමට සහ විවිධ මතවාද පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මිස කිසිවකු නිදොස් කිරීමට හෝ දේශපාලන වාසි ලබාගැනීමට නොවන බවයි. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට වන සිය ස්ථාවරය වෙනස් වී නොමැති බවද හෙතෙම අවධාරණය කළේය. පක්ෂ මහලේකම්වරයාද පෙන්වා දුන්නේ කෘතියේ ඇතැම් කරුණු සමඟ එකඟ විය හැකි වුවත් සමස්ත මතයම පිළිනොගන්නා බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ මෙම ගමන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කර තිබූ අතර, එහිදී ගනේෂන් මහතා සඳහන් කර තිබුණේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

