two-people-drowned-in-nallachchiya-reservoir

තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ප්‍රධාන වාරි ඇළ මාර්ගයේ දිය නෑමට ගිය පාසල් ගුරුවරයෙකු සහ පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඊයේ (18) දින වාර්තා වී තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ ධනුෂ්ක උදයංග නමැති ගුරුවරයා සහ 




අනුරාධපුරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි වයස අවුරුදු 19ක් වන හේෂාන් දසුන් නැමැති සිසුවෙකි. ඔවුන් බැඳිවැව සහ තිඹිරිගස්කඩවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම දෙදෙනා ඊයේ පස්වරුවේ උපකාරක පන්ති අවසන් වීමෙන් පසු නල්ලච්චිය ඇළ මාර්ගයේ මංකඩකට දිය නෑම සඳහා ගොස් ඇත. එහිදී අනපේක්ෂිත ලෙස දියේ ගිලී ඇති ඔවුන් දෙදෙනා සැර ජල පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. එම ස්ථානයේ සිට මීටර් තුන්සීයක් පමණ පහළින් දිය නාමින් සිටි පිරිසක් විසින් ජලයේ ගසාගෙන ආ එක් අයෙකු මුලින්ම දැක ගොඩට ගෙන ඇති අතර, පසුව අනෙක් පුද්ගලයා ද ගොඩට ගැනීමට කටයුතු කර ඇත.




අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පෞද්ගලික ලොරි රථයක් මාර්ගයෙන් ඔවුන් දෙදෙනා තඹුත්තේගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, ඒ වන විටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය ගුරුවරයාගේ දේහය තඹුත්තේගම මූලික රෝහලේත්, සිසුවාගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තැන්පත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවත් වාර්තා වේ.

මේ අතර, ඊයේ දහවල් කාලයේදී අනුරාධපුර තිසාවැවේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු තවත් පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ. එලෙස දිවි බේරාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. එම අවස්ථාවේදී ඔහුට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.