මහරගම, පමුණුව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයට නාඳුනන පිරිසක් විසින් හිතාමතාම ගිනි තබා ඇතැයි කියන සිද්ධියකින් මවක සහ ඇයගේ යොවුන් දියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අපරාධයෙන් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇතැයි පොලිසිය තහවුරු කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අදාළ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 16 හැවිරිදි දියණියයි.
ගින්නට මැදිවීමෙන් දැරියගේ පියා සහ අදාළ නිවසේ අයිතිකරුවන 76 හැවිරිදි පුද්ගලයා බරපතල ලෙස පිළිස්සී ඇති අතර, ඔවුන් මේ වන විටත් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම ඛේදනීය සිදුවීම පසුගිය සිකුරාදා (18) දිනයේදී වාර්තා වී තිබේ. නිවස ගිනි ගන්නා අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර, තුවාලකරුවන් රෝහලට රැගෙන යාමටද පියවර ගෙන ඇත. මියගිය මවගේ සහ දියණියගේ සිරුරු පසුව එම නිවසේ කාමරයක් තුළ තිබී සොයාගෙන තිබේ.
අපරාධය සිදුවූ ස්ථානයේ පෙට්‍රල් ගන්ධයක් පැවති බව පොලිසිය පවසන අතර, මෙය හුදෙක් ගින්නක් පමණක් නොව ද්විත්ව ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් සැලසුම් සහගතව කළ ගිනි තැබීමක් බවට මූලික විමර්ශන හරහා සැක කෙරේ.
මෙම කුරිරු අපරාධය සඳහා බලපෑ නිශ්චිත හේතුව හෝ අරමුණ මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා මහරගම පොලිසිය විසින් පුළුල් විමර්ශන දියත් කර ඇත.

