නීතිවිරෝධී ලෙස ගිනිඅවි සහ පතරොම් තොගයක් මෙන්ම ජීව අත්බෝම්බයක් සිය නිවසේ සඟවාගෙන සිටීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතාව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය හරහා ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවකට අනුව සැකකාර හිටපු මන්ත්‍රීවරයාට අයත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම අවි ආයුධ තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.
යූ. වුට්ලර් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.එම සෝදිසි මෙහෙයුමේදී නිවසේ තිබී බෝර 12 වර්ගයේ එක් ගිනිඅවියක්, බෝර 16 ස්ටීවන් වර්ගයේ තවත් ගිනිඅවියක් සහ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මීට අමතරව එක් ජීව අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 221ක් සහ ඒ සඳහා යොදාගන්නා මැගසින් දෙකක්, පොයින්ට් 22 වර්ගයේ ජීව උණ්ඩ 103ක් මෙන්ම මිලිමීටර් 7.2 ප්‍රමාණයේ ජීව උණ්ඩ 31ක් ද එම ආයුධ ගබඩාවට අයත් බව තහවුරු වී තිබේ.
පොලිසිය විසින් සොයාගත් මෙම ආයුධ අතරින් ජීව අත්බෝම්බය නිවසේ ගබඩා කාමරයක් තුළ සඟවා තිබියදී නිලධාරීන්ට හමුවී ඇති අතර, සෙසු ගිනිඅවි සහ පතරොම් තොගය නිවසේ ඉදිරිපස පිහිටි කාමරයක තිබී සොයාගෙන ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් මිලිමීටර් 09 පිස්තෝල ද්විත්වයට සහ බෝර 12 මෙන්ම බෝර 16 ගිනිඅවි සඳහා නිත්‍යානුකූල බලපත්‍ර පවතින බව අනාවරණය වී ඇති නමුත්, ඉන් ඇතැම් ගිනිඅවි සඳහා බලපත්‍ර ලබාගෙන ඇති කාන්තාව මේ වන විට විදේශගතව සිටින බවද පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ.
මෙම මෙහෙයුමේදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා සමඟ ජීව අත්බෝම්බය, ටී 56 උණ්ඩ සහ මැගසින්, පොයින්ට් 22 උණ්ඩ, මිලිමීටර් 7.2 උණ්ඩ තොගය මෙන්ම බෝර 16 ස්ටීවන් වර්ගයේ ගිනිඅවිය නිල වශයෙන් පොලිස් භාරයට ගෙන ඇත. අදාළ නිවසින් සොයාගත් බෝම්බය සහ අනෙකුත් ගිනිඅවි හා පතරොම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විශේෂ නිලධාරීන් ද මේ වන විට අදාළ ස්ථානයට කැඳවා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.



