
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගේ බිරිඳගේ බාප්පා සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේ තීරණාත්මක නියෝගයක් ලබන 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඇප මත නිදහස්ව සිටින සාධිකා ලක්ෂානිගේ බාප්පා වන ලක්ෂිත ශ්‍රී දුලාජ් නමැත්තාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් නඩු පවරන්නේද යන්න පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා විසින් ඊයේ (21) මෙම තීරණය දැනුම් දෙන ලදී.මෙහිදී සැකකාර ලක්ෂිත ශ්‍රී දුලාජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ලිඛිත ඉල්ලීමක් කරමින් පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහු නිදහස් කරන ලෙසයි. එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව පවසමින් ඔහු මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
පොලීසියේ එම විරෝධතාවයට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ, හුදෙක් විමර්ශන සිදු කරන බව පමණක් පවසමින් සැකකරුවෙකු නිදහස් කිරීමට විරෝධය පළ කළ නොහැකි බවයි. ඒ අනුව, අදාළ විරෝධතාවයට පදනම් වූ කරුණු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබන 30 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහු පොලීසියට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක සහ අශෙනිකා නිදුමි විජේරත්න යන මහත්ම මහත්මීහු මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු, ඉදිරි නඩු දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද එහිදී පියවර ගැනිණි.
මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි සහ ඇයගේ නැගණිය වන දේශාංජනී ලක්ෂානි යන අය මේ වන විට ඇප මත මුදා හැර සිටිති. කෙසේ වෙතත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත මෙන්ම විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත සාධිකා ලක්ෂානි ඇතුළු පිරිස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

