the-more-than-15-lakh-sri-lankan-community-living-abroad-will-get-the-right-to-vote

විදේශගතව වාසය කරන ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙරට මැතිවරණවලදී සිය ඡන්ද අයිතිය භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කරන ලද විශේෂ කමිටු වාර්තාව පසුගිය 27 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. මෙම වාර්තාව භාරගනිමින් අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන විදේශගත ශ්‍රමිකයන් ඇතුළු පිරිසට රටේ පාලනය තීරණය කිරීමේ අවස්ථාව අහිමි කිරීම බලවත් අසාධාරණයක් බවයි.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක අදහස් හා යෝජනා ගොනු කරමින් සකස් කරන ලද මෙම වාර්තාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දුන් අමාත්‍යවරයා, එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර වැඩිදුර පියවර ගැනීමට රජය සූදානම් බවද අවධාරණය කළේය.




අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කමිටුව විසින් විදේශගත පුද්ගලයන් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ හඳුනාගෙන තිබේ. ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ විවිධ අවශ්‍යතා වෙනුවෙන් තාවකාලිකව මෙරටින් බැහැරව සිටින පුද්ගලයන් සඳහා ඡන්ද අයිතිය ලබාදීමට මෙහිදී යෝජනා වී ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය ප්‍රධාන අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සකස් කිරීම, විදේශයන්හි සිටින ඡන්දදායකයන් ඉලක්ක කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබේ. එසේම අදාළ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) පද්ධතියක් භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව පිළිබඳව ද විශේෂ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

නවසිය අනූව දශකයේ සිට දශක කිහිපයක් පුරා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ විවිධ මට්ටමේ සංවාද පැවතුණ ද, ඒ පිළිබඳ ප්‍රායෝගික ක්‍රමවේද ඇතුළත් විධිමත් වාර්තාවක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2025 වසරේ දෙසැම්බර් මාසයේදී පත් කරන ලද මෙම කමිටුව, නියමිත කාලසීමාවටත් පෙර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සියලු පාර්ශවයන්ගේ අදහස් විමසා මෙම වාර්තාව සම්පාදනය කර තිබීම විශේෂත්වයකි. දේශපාලන පක්ෂවලට අමතරව ස්වාධීන සංවිධාන මෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ සංවිධානවලින් ද මේ සඳහා අවශ්‍ය කරුණු සහ දත්ත රැස් කරගෙන තිබේ.




විදේශගත ලාංකිකයන්ට අමතරව මෙරට වෙසෙන නමුත් විවිධ හේතු මත ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා පවතින සුවිශේෂී කණ්ඩායම් කිහිපයක් සඳහා ද පූර්ව ඡන්දය (Advanced voting) හෝ ජංගම ඡන්ද (Mobile voting) ක්‍රමවේද හඳුන්වා දීමට කමිටුවේ අවධානය යොමු වී ඇත. ඒ අනුව මැතිවරණ දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන් හා රේගු නිලධාරීන් වැනි වෘත්තිකයන්ට මෙන්ම ධීවරයන්, සිරකරුවන් සහ රෝගාතුරව පසුවන පුද්ගලයන්ට ද සිය මූලික අයිතිවාසිකමක් වන ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට යෝජනා වී තිබේ. ඉදිරියේදී මහජන සාකච්ඡාවන් සඳහා විවෘත කිරීමට නියමිත මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට මැතිවරණ ක්‍රමය වඩාත් විනිවිදභාවයකින් යුත් සාධාරණ පද්ධතියක් බවට පත්වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.