
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී 'ගණේමුල්ලේ සංජීව' නමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම ආධාර අනුබල දීම සහ පාතාල කල්ලි සාමාජිකයන් සමඟ එක්ව මහා පරිමාණ මුදල් විශුද්ධිකරණයේ යෙදීම සම්බන්ධයෙන් දින 182ක් රහස් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2025 ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් කඩවත, මහබෝධි මාවතේ පදිංචි තමරා කුමාරි අබේරත්න නමැති මෙම සැකකාර නීතිඥවරියගේ රැඳවුම් කාලය අවසන් වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) ඇයව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.
2025 පෙබරවාරි 19 වැනිදා සිදුවූ මෙම ඝාතනය සඳහා අධිකරණ භූමියට පැමිණි වෙඩික්කරුට සහ ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නීතිඥවරියක ලෙස පෙනී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් මෙම සැකකාරිය විසින් සපයා දී ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව, ඔවුන්ට අධිකරණයට ඇතුළුවීම සඳහා වාහන බලපත්‍ර ලබාදීම, කළු පැහැති කබා සහ නීතිඥ ලාංඡනය සහිත ටයි පටි ලබාදීම මෙන්ම ගිනි අවිය සඟවාගෙන ඒම සඳහා ඇතුළත හාරන ලද නීතිඥ පොත් සැපයීම ද ඇය විසින් සිදුකර ඇත. මීට අමතරව, කෙහෙල්බද්දර පද්මේ සහ චමින්ද රොෂාන් යන පාතාල සාමාජිකයන් හරහා ඝාතකයන්ට ලබා දී තිබූ ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත්වල මෙම සැකකාරියගේ අත්සන පැහැදිලිව සටහන් වී ඇති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද ගුණසේකර මහතා අධිකරණයට වැඩිදුරටත් අනාවරණය කළේ, සැකකාරිය තම සැබෑ උපන් වර්ෂය වූ 1970 වෙනුවට 1972 ලෙස සඳහන් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් නොකළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිත කර ඇති බවයි. එම ව්‍යාජ හැඳුනුම්පත යොදාගනිමින් කඩවත පිහිටි රාජ්‍ය බැංකුවක 'තමරා ලෝ චේම්බර්' නමින් ගිණුම් අටක් විවෘත කර ඇති ඇය, 2023 සිට 2025 දක්වා කාලය තුළ රුපියල් කෝටි 24ක අප්‍රකට ආදායමක් එම ගිණුම් හරහා සංසරණය කර ඇති බවත්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් මෙලෙස විශුද්ධිකරණය කර ඇත්දැයි පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.
මෙම නීතිඥවරිය මන්දිනු පද්මසිරි නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' වැනි සංවිධානාත්මක අපරාධකරුවන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නිරන්තරයෙන් සමීප සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇත. පාතාල සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඇය මාලදිවයින, ඩුබායි සහ මැඩගස්කරය ඇතුළු රටවල් රැසක ඔවුන් සමඟ අවස්ථා 15කදී විදේශ සංචාරවල නිරත වී ඇති බවද පොලිසිය පැවසීය. එමෙන්ම, දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ සුවිසල් නිවසට මුරකරුවෙකු පවා ලබා දී ඇත්තේ 'බැකෝ සමන්' නමැති පුද්ගලයා විසින් බව අධිකරණයේදී වැඩිදුරටත් කියවිණි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව නීතිඥවරුන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන්ගේ රහස්‍යභාවය සුරැකීමට බැඳී සිටින බවත්ය. මෙම සිදුවීම හේතුවෙන් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් තම සේවාදායිකාවට බන්ධනාගාරය තුළදී පූර්ණ ආරක්ෂාව සපයන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. මීට සමගාමීව කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය, ගණේමුල්ලේ සංජීව ඝාතන නඩුවේ 28 වැනි සැකකාරිය ලෙසද ඇයව නම් කර ඇති බැවින් ලබන 05 වැනිදා එම නඩුව කැඳවන අවස්ථාවේදී ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වන චෝදනා සහ සැකකාරිය පවත්වාගෙන ගිය බව කියන බැංකු ගිණුම්වල ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේම අදාළ ඝාතන නඩුව විභාග වන ලබන 05 වැනිදා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එළඹෙන 07 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.
