අද කියුබාවේ හවානා නුවර වීදි පුදුමාකාර නිහඬතාවකින් වෙලී ඇත. සුපුරුදු පැරණි මෝටර් රථවල ඝෝෂාව ඒ වීදිවලින් මැකී ගොස් ඇති නමුත්, මුහුදු පතුලෙන් ඇසෙන යකඩ ගැටෙන හඬක් සම්බාධක හමුවේ තම දෛනික ජීවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන සමස්ත ජාතියකගේම ජීවන අරගලය ලෝකයට කියාපායි.
ඒ හවානා බොක්ක හරහා දිවෙන කිලෝමීටර තුනක් දිගු දිය යට උමඟක් මැදින් ගමන් කරන "සික්ලොබස්" (Ciclobús) නැමැති ඩීසල් බස් රථයයි. දශක ගණනාවකින් කියුබාව මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන ගැටලුවට ඇති එකම පිළිතුර බවට අද පත්ව ඇත්තේ මෙම අපූරු බස් රථයයි. ඉන්ධන හිඟයත් සමඟ මහමඟින් මෝටර් රථ අතුරුදන් වී ඇති පසුබිමක, පාපැදි, විදුලි යතුරුපැදි සහ ස්කූටර් තම ප්‍රවාහන මාධ්‍ය කරගත් කියුබානුවන්ට මෙම උමඟ හරහා ඍජුවම ගමන් කිරීම නීතියෙන් තහනම් කර තිබේ. ඒ සඳහා ඔවුන්ට ඇති එකම විකල්පය කිලෝමීටර දහසයක පමණ දුරක් ගෙවාගෙන, කර්මාන්තශාලා පිරුණු වෙනත් මාර්ගයක් හරහා රැකියා ස්ථාන වෙත යාමය. එහෙත් දිනකට මගීන් දෙදහසකට අධික පිරිසක් තම ද්වි-රෝද වාහන ද සමඟින් මෙම රජයේ බස් රථයට ගොඩවන්නේ එම අතිශය වෙහෙසකර ගමනින් මිදීමටයි.
මෙම ගමන හුදෙක් පහසුවක් පමණක්ම නොව, ආර්ථිකමය වශයෙන් ගත් කල ජනතාවට අත්‍යවශ්‍ය සාධකයකි. කියුබාවේ රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ මාසික මධ්‍යන්‍ය වැටුප කියුබානු පෙසෝ 7,000ක් පමණ වේ. උමඟ හරහා පෞද්ගලික කුලී රථයකින් යාමට පෙසෝ 1,000ක් පමණ වැය වන අතර එය සාමාන්‍ය කම්කරුවෙකුගේ සතියක වැටුපට සමානය. එහෙත් සික්ලොබස් රථයේ ගාස්තුව පෙසෝ 2ත් 5ත් අතර අතිශය සුළු මුදලකි. "අපිට වෙන විකල්පයක් නෑ. පොදු ප්‍රවාහනයක් ඇත්තෙම නැති තරම්, ඒ වගේම පෞද්ගලික කුලී රථයකට ගෙවන්න තරම් වත්කමක් අපිට නෑ. ඒ නිසයි අපි මේ බස් එකේ යන්නේ," යැයි පැරණි හවානා නගරයේ සේවය කරන ඉන්ග්‍රිඩ් කින්ටානා පවසන්නේ තම සැමියාගේ පාපැදිය අසල සිටගෙනය. නගරයේ බොහෝ රැකියා අවස්ථා උමඟින් එහා පැත්තේ පිහිටා ඇති බැවින් තමන්ට මෙම අඳුරු ගමන යාමට අනිවාර්යයෙන්ම සිදුවන බව තවත් මගියෙකු වන 32 හැවිරිදි බාබරෝ කබ්රාල් පවසයි.
අද කියුබාව මුහුණ දෙන මේ ඛේදවාචකයේ මූලයන් ඇත්තේ සයුරෙන් එහා සිදුවන ගෝලීය දේශපාලන බල අරගලය තුළය. 2026 ජනවාරි මාසයේ සිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට එරෙහි තෙල් සම්බාධක තවදුරටත් දැඩි කිරීමත් සමඟ මෙම තත්ත්වය උත්සන්න විය. වෙනිසියුලාවේ නිකොලස් මදුරෝගේ රජය පෙරළා දැමීමේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසු, කියුබාවට ලැබුණු ප්‍රධානතම තෙල් සැපයුම මුළුමනින්ම නතර විය. ඊට අමතරව මෙක්සිකෝවේ පෙමෙක්ස් (Pemex) වැනි අනෙකුත් සැපයුම්කරුවන්ටද ඇමෙරිකාවෙන් තර්ජන එල්ල වීම හේතුවෙන් කියුබාවට දැඩි ඉන්ධන සලාක ක්‍රමයකට යොමු වීමට සිදුව තිබේ. අද වන විට වාහනයකට මාස ගණනාවක් රස්තියාදු වී හෝ ලබාගත හැක්කේ ඉන්ධන ලීටර 20ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි.
මේ දැඩි සම්බාධකවල ප්‍රතිඵලය වී ඇත්තේ පහුගිය මාර්තු මාසයේදී මුළු රටම අඳුරේ ගිල්වූ දැවැන්ත විදුලි බිඳවැටීම්, නතර වූ පොදු ප්‍රවාහන පද්ධතිය සහ අකර්මණ්‍ය වූ රෝහල් ජාලයයි. කුණු කඳු ගොඩගැසෙමින් පවතින නගරය මැද, ජනතාව තම එදිනෙදා ගමන් බිමන් සඳහා විකල්ප සොයමින් වෙහෙසෙති. මෙය හරියටම 1990 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසු කියුබාව මුහුණ දුන් අඳුරු "විශේෂිත යුගය" (Special Period) නැවත සිහිපත් කිරීමකි. එකල ෆිදෙල් කස්ත්‍රෝ චීන පාපැදි බෙදා දෙමින් ජනතාවට සහනයක් දුන්නා සේම, 90 දශකයේ ආරම්භ කර පසුව අමතක කර දමා තිබූ මෙම සික්ලොබස් රථය අද ජනතාවගේ ප්‍රධානතම ජිවන මාර්ගය බවට පත්ව ඇත.
උණුසුම් දහවල් කාලයේ පවා දහදිය පෙරාගෙන සන්සුන්ව පෝලිම්වල රැඳී සිටින මේ මිනිසුන්ගේ දෑස්වල ඇත්තේ කෙසේ හෝ දවස ජයගැනීමේ නොපසුබට උත්සාහයකි. විනාඩි පහළොවක අඳුරු උමං ගමන පුරාවටම වාහනය ගැටෙන ශබ්දය මැද, අත්වැටවල් තදින් අල්ලාගෙන තම පාපැදි ද සමඟින් ඔවුන් ගමන් කරන්නේ තම ජීවිතයේ අවිනිශ්චිතභාවය දරාගනිමිනි. කියුබානු රජය ඇමෙරිකාව සමඟ යම් යම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹා ඇති බවට වාර්තා වුවද, බිඳවැටුණු ආර්ථිකය හමුවේ ජනතාවගේ දෛනික පීඩාව ඒ කිසිවකින් තවමත් සමනය වී නැත.
එහෙත් මේ අඳුරු උමඟ තුළින් දිනපතා එහා මෙහා යන සික්ලොබස් රථය හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ; එය ලෝක බලවතුන්ගේ තහංචි හමුවේ පවා දණ නොනමන, අඳුර මැදින් ආලෝකය සොයා යන කියුබානු ජනතාවගේ නොසිඳෙන බලාපොරොත්තුවේ සහ දරාගැනීමේ ජීවමාන සංකේතයයි.



