answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ලාල් කාන්ත මහතා සහ මාධ්‍යවේදී රුවන් ලියනාරච්චි මහතා අතර යූටියුබ් නාලිකාවක් ඔස්සේ මෑතකදී පැවැත්වුණු විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, අමාත්‍යවරයාගේ පෞද්ගලික ජීවිතය, වත්මන් කෘෂිකාර්මික අර්බුද, පොහොර ගැටලුව, වනසත්ව හානි මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම පසුගියදා ඔහුගේ නව නිවසේ පැවැති දානමය පුණ්‍යකර්මයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.

 එම සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න සහ පිළිතුරු පහතින් දැක්වේ.




ප්‍රශ්නය: මෑතකදී ඔබගේ නිවසේ පැවැති දානමය පුණ්‍යකර්මයක් සමාජ මාධ්‍ය හරහා විශාල කතාබහකට ලක්වුණා. අතීතයේදී ඉතා සරල ජීවිතයක් ගත කළ ඔබ, අද වන විට මෙවැනි වටිනාකමකින් යුත් නිවසක් ගොඩනැගුවේ කෙසේද යන්න පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කුමක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර: මම අලුතෙන් ගෙදරකට පදිංචි වුණා කියලා සමහරු හිතන් හිටියට, 2024 අග භාගයේදී පමණ ඉදිකර අවසන් කළ මේ නිවසේ තමයි මම දැන් කාලයක සිට පදිංචිවෙලා ඉන්නේ. අපේ මියගිය දෙමාපියන් සහ ඥාතීන් වෙනුවෙන් තමයි මම මේ පාර දානමය පින්කම සංවිධානය කළේ. ජනාධිපතිතුමාට සහ අගමැතිනියටත් මම ඊට ආරාධනා කළා. මම දේශපාලනයට පූර්ණකාලීනව සම්බන්ධ වෙලා දැන් අවුරුදු හතළිහකට ආසන්නයි. ඒ කාලය තුළ මගේ දෙමාපියන්ගේ අනුරාධපුර මාතලේ හන්දියේ තිබුණු දේපළ විකුණලා තමයි මේ ඉඩම අරගෙන මේ නිවස හැදුවේ. ඒ වගේම මගේ බිරිඳ රැකියාවක් කරනවා. පක්ෂයේ මුදල් හෝ රජයේ මුදල් මම කිසිදු දිනෙක අවභාවිතා කරලා නැහැ. මට අවශ්‍ය නම් මගේ සමාජ ප්‍රාග්ධනය පාවිච්චි කරලා ලොකු මුදලක් වුණත් හොයාගන්න තිබුණා, නමුත් මම කිසිදිනෙක එහෙම කරලා නැහැ.




ප්‍රශ්නය: සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූපවල පියානෝවක් සහ නවීන පන්නයේ පුටු කට්ටලයක් දකින්න ලැබුණා. ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බව පෙන්වමින් තිරයෙන් පිටුපස සුඛෝපභෝගී ජීවිත ගත කරන බවට එල්ල වන චෝදනාවලට ඔබේ පිළිතුර කුමක්ද?

පිළිතුර: මගේ දියණිය කුඩා කාලයේ සිටම සංගීතය හැදෑරූ නිසා ඒ පියානෝව අපේ නිවසේ අවුරුදු පහළොවක පමණ කාලයක සිට තිබෙන දෙයක්. දැන් කාලේ ගෙදරක පුටු කට්ටලයක් තිබීම මැජික් එකක් නෙමෙයි. ධනපති ක්‍රමය කියන්නේ පාරිභෝගික භාණ්ඩ භාවිත කිරීම නෙමෙයි, ප්‍රාග්ධනය හිමිකරගෙන ශ්‍රමිකයින් සූරාකෑමයි. අතීතයේදී අපි අමාරු කාලවල් පසුකරමින් දේශපාලනය කළා. එදා තිබුණු අභියෝගාත්මක වටපිටාව තුළ අපට ගැලපෙන අයුරින් අපි ජීවත් වුණා. ඒ කාලයේ ඇන්ද විදිහටම ඇමතිවරයෙක් වුණාට පස්සේ ඉන්න බැහැ. සමාජය සහ අවධිය වෙනස් වන විට ඊට සාපේක්ෂව අපේ ජීවන තත්ත්වයන්ද වෙනස් වෙමින් ඉදිරියට යාම තමයි සාමාන්‍ය ස්වභාවය.



ප්‍රශ්නය: ඔබ ඔබව හඳුන්වා දෙන්නේ සමාජවාදියෙක් විදිහටද, නැතහොත් ධනවාදියෙක් විදිහටද?

පිළිතුර: මම මූලික වශයෙන් මාක්ස්වාදියෙක්. මාක්ස් සහ එංගල්ස්ගේ දර්ශනය මත තමයි මගේ දේශපාලන පදනම ගොඩනැගී තිබෙන්නේ. මම කිසිසේත්ම ධනවාදී ආර්ථිකය හෝ ඇඩම් ස්මිත්ගේ ආර්ථික විද්‍යාව පිළිගන්නේ නැහැ. බුදුදහම වැනි දර්ශනයන් වුවත් විවිධ රටවල සංස්කෘතීන් සමඟ බද්ධ වී වෙනස් ස්වරූප ගන්නවා වගේ, මාක්ස්වාදයත් ශ්‍රී ලාංකීය භූමියට සහ සංස්කෘතියට අනුව ගලපා ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ වෙනත් වාමාංශික පක්ෂවලින් වෙනස් වන්නේත් ඒ අපේ රටේ සංස්කෘතික විවිධත්වයට අනුව දේශපාලනය හැඩගැස්වූ නිසයි. අපේ අරමුණ වන්නේ සෑම පුරවැසියෙකුටම කන්න බොන්න අඳින්න ලැබෙන සමාජයක් නිර්මාණය කිරීමයි.

ප්‍රශ්නය: කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කතා කරන විට, ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට පොහොර සහ ඉන්ධන නොලැබෙන බවට චෝදනා නැඟෙනවා නේද?

පිළිතුර: ඉදිරි යල කන්නයේ වී වගාවට අවශ්‍ය තරම් පොහොර ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. යූරියා පොහොරවල කිසිදු හිඟයක් රටේ නැහැ. පෞද්ගලික අංශය විසින් ආනයනය කරන පොහොරවලින් සියයට හැටපහක් රජය විසින් ඔවුන් සමග ඇතිකරගත් එකඟතාවයක් මත මුදල් ගෙවා මිලදී ගෙන, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට වෙනදා ලබාදුන් ප්‍රමාණයටම ලබා දෙනවා. ඊට අමතරව තවත් පොහොර නැවක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඉන්ධන සම්බන්ධයෙන් ගත් කල, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක් අප විසින් මේ වන විටත් සකස් කර තිබෙනවා.

ප්‍රශ්නය: පවතින වියළි කාලගුණය කෘෂිකර්මාන්තයට කෙසේ බලපායිද? වාරිමාර්ග කටයුතු කළමනාකරණය වන්නේ කෙසේද?

පිළිතුර: යල කන්නයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් තරම් පවතිනවා. කෙසේ වෙතත්, මහවැලි ගඟ ආශ්‍රිත ජලාශවලින් විදුලිය, කෘෂිකර්මාන්තය සහ පානීය ජලය යන අවශ්‍යතා තුනම සැපයෙන බැවින් එහි යම් සංකීර්ණ තත්ත්වයක් පවතිනවා. දහවල් කාලයේ පවතින දැඩි වියළි ස්වභාවය සහ සවස් කාලයේ ඇතිවන සංවහන වැසි තත්ත්වයන්ද මීට බලපානවා. පානීය ජල අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙමින්, දැඩි කළමනාකරණයකින් යුතුව ජලය මුදාහැරීමට කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය: වී ගොවිතැනේදී නියමිත තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ පශ්චාත් අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් පවතින ගැටලු මොනවාද?

පිළිතුර: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන තාක්ෂණික පැකේජය ගොවීන් තවමත් සම්පූර්ණයෙන්ම භාවිත කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස, පස සාරවත් වීම සඳහා අඟල් නවයක් ගැඹුරට පස පෙරළා සීසෑම සිදුකළ යුතු වුවත් බොහෝ දෙනා එය කරන්නේ නැහැ. ඊට අමතරව, අස්වැන්න නෙළාගත් වහාම වේළා ගැනීමට හා ගබඩා කර ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා තෙත වී තබාගත නොහැකිව ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. අතීතයේ තිබූ කමත සහ වී බිස්ස අද ක්‍රියාත්මක වන්නේ නැහැ. රජය විසින් මේ වන විට වී මෙට්‍රික් ටොන් හැටහය දහසක් මිලදී ගෙන සතොස හරහා මෝල්වලට දී පාරිභෝගිකයන්ට සහල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මෙහි අරමුණ වෙළෙඳපොළේ සහල් මිල යම් පාලනයකට නතු කර ගැනීමයි.

ප්‍රශ්නය: බඩඉරිඟු වගාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද?

පිළිතුර: බඩඉරිඟු අද ලංකාවේ දෙවැනි ප්‍රධාන භෝගය බවට පත්වෙලා තිබෙනවා. ත්‍රිපෝෂ සහ සත්ත්ව ආහාර නිෂ්පාදනයට එය අත්‍යවශ්‍යයි. අප නිෂ්පාදනය කරන්නේ රටේ අවශ්‍යතාවයෙන් අඩක් පමණයි. ඒ නිසා මත්පැන් නිෂ්පාදනය වැනි කර්මාන්ත සඳහා දැනට අපේ රටේ බඩඉරිඟු ලබාදීමට හැකියාවක් නැහැ. ඉඩම් ප්‍රමාණය වැඩිකරනවාට වඩා, නිසි තාක්ෂණය භාවිතයෙන් හෙක්ටයාරයකින් ලැබෙන අස්වැන්න වැඩිකර ගැනීමට අප අවධානය යොමු කළ යුතුයි. ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්නා අතරම ක්‍රමයෙන් කාබනික වගාව දෙසට යොමුවීම අපේ අපේක්ෂාවයි.

ප්‍රශ්නය: වගාවන්ට සිදුවන වනසත්ව හානි, විශේෂයෙන්ම රිලවුන්ගෙන් සහ අලින්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට රජය ගන්නා පියවර මොනවාද?

පිළිතුර: වනසත්ව කළමනාකරණය යනු ඉතා සංකීර්ණ විෂයයක්. ආගමික, සංස්කෘතික සහ පරිසරවේදීන්ගේ විවිධ මතයන් මීට දැඩිව බලපානවා. අප කළ මූලික සංගණනයකට අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක වැඩිපුරම රිලා උවදුරට ලක්ව ඇති බව හඳුනාගෙන තිබෙනවා. වායු රයිෆල් ලබාදීම සහ විවිධ ක්‍රමවේදයන් යෙදුවත් එය තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ ඒ ප්‍රදේශවල ඝනත්වයට ගැළපෙන විසඳුම් ප්‍රාදේශීය බලධාරීන් සහ ගොවිජන සංවිධාන එක්ව සකස් කළ යුතුයි. මේ අර්බුදය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක්ද මේ වන විට පත් කර තිබෙනවා.

ප්‍රශ්නය: ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාම මුල් කරගෙන විපක්ෂය ප්‍රාදේශීය මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට උත්සාහ කරනවා නේද? මේ පිළිබඳව රජයේ ප්‍රතිචාරය කුමක්ද?

පිළිතුර: වත්මන් ආර්ථික තත්ත්වය සහ අර්බුද මේ ආණ්ඩුව විසින් නිර්මාණය කළ ඒවා නොවන බව ජනතාව හොඳින්ම දන්නවා. මීට පෙර සිටි පාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා මේ තත්ත්වය උදා වූ බව ජනතාවට පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය කෘතිමව උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීමට උත්සාහ කළත් ජනතාව ඔවුන් සමග ඒකරාශී වන්නේ නැහැ. විපක්ෂයක් ලෙස ඔවුන් කළ යුත්තේ ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් ධනාත්මක සහ ඉදිරිගාමී වැඩපිළිවෙළක් යෝජනා කිරීම මිස, හුදෙක් සෘණාත්මක දේ පමණක් අල්ලාගෙන දේශපාලනය කිරීම නොවෙයි.

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house

answers-from-lal-kanta-to-the-rumors-about-the-new-house