බෞද්ධ චීවරයට මුවා වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ භික්ෂු ප්‍රතිරූපකයන්ගේ නීති විරෝධී මෙන්ම ශාසන විරෝධී ක්‍රියාකලාපය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. උන්වහන්සේලා විසින් නිකුත් කරන ලද නිවේදනයක් හරහා පෙන්වා දෙන්නේ, මෙවැනි සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ ඓතිහාසික ගෞරවය මෙන්ම උතුම් බුද්ධ චීවරයේ පාරිශුද්ධත්වයද මුළු ලෝකය ඉදිරියේ දැඩි ලෙස අවමානයට ලක්වන බවයි.
මෙරට ජනතාව තුළ මහා සංඝරත්නය කෙරෙහි පවතින අචල භක්තිය සහ චීවරයට දක්වන සාම්ප්‍රදායික ගෞරවය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිදුකර ඇති මෙම බරපතළ වරද කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. එබැවින් මෙම අපරාධයට සම්බන්ධ වූ සියලුම භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබා දීමට බලධාරීන් පියවර ගත යුතු බව මහානාහිමිවරු අවධාරණය කරති.
මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් සසුනෙන් නෙරපා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවද මහානායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දී ඇත. ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන නිර්මාණය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය වහාම මැදිහත් විය යුතු අතර, අදාළ නිකාය පාර්ශ්වයන් හරහා කරුණු සොයා බලා මෙම පිරිස ශාසනයෙන් නෙරපීමට ඉදිරියේදී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මීට අමතරව, තරුණ භික්ෂූන් වහන්සේලා සූක්ෂම ලෙස තම ජාලයන් වෙත නතුකර ගනිමින් මෙවැනි අපරාධ සඳහා යොදාගන්නා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ යුහුසුළු විය යුතු බවද දැඩිව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ දෛනික ක්‍රියාකලාපය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීමත්, යම් විෂමාචාරයක් හෝ ශාසන විරෝධී කටයුත්තක් නිරීක්ෂණය වන්නේ නම් වහාම මැදිහත් වී ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට කටයුතු කිරීමත් සියලුම ආචාර්ය උපාධ්‍යාය වහන්සේලාගේ අත්හළ නොහැකි වගකීමක් බවද ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා සිහිපත් කර දෙති.


