වර්තමානය වන විට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුද්ධය අස්ථාවර සටන් විරාමයක පවතින පසුබිමක, වාර්ෂිකව ඩොලර් බිලියන අටසියයකට වඩා ආරක්ෂාව වෙනුවෙන් වැය කළද, සති හයක මැදපෙරදිග යුද්ධයෙන් පසු ඇමරිකාව දැඩි ආයුධ, යුධ නෞකා සහ ගුවන් යානා හිඟයකට මුහුණ පා සිටී. ට්‍රම්ප්ගේ පෙන්ටගනය සිය දෙවන ධුර කාලය තුළ රටවල් හතකට පහර දීම සඳහා, සැතපුම් දහසක් දුරින් ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල බහුලව භාවිත කර ඇත.
පසුගිය මාර්තු මාසයේදී යේමනයේ හූති කැරලිකරුවන්ට, දොළොස් දින යුද්ධයේදී ඉරානයට සහ දෙසැම්බර් මාසයේදී නයිජීරියාවේ අයි.එස්.අයි.එස් (ISIS) සටන්කාමීන්ට එරෙහිව මෙම මිසයිල භාවිත කෙරුණු අතර, සිරියාවේ සහ වෙනිසියුලාවේදී ද ඒවා භාවිත කර ඇති බවට වාර්තා වේ. වොෂින්ටනයේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSIS) ඇස්තමේන්තු වලට අනුව ඇමරිකාව සතුව මේ වන විට ඉතිරිව ඇත්තේ ටොමහෝක් මිසයිල 3,000 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් පමණි. ඉරාන යුද්ධයේ පළමු මාසය තුළදී පමණක් ඇමරිකාව ඩොලර් බිලියන තුනක් පමණ වටිනා ටොමහෝක් මිසයිල 850 කට වඩා භාවිත කර ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. එහෙත් 2026 ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ නව ටොමහෝක් මිසයිල 57 ක් මිලදී ගැනීමට පමණි. CSIS හි මිසයිල ආරක්ෂක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ටොම් කරාකෝ පෙන්වා දෙන්නේ ටොමහෝක් වැනි දිගුදුර මිසයිල චීනයේ ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කිරීමට යොදාගත යුතු ඒවා මිස ඉරානය වැනි රටකට එරෙහිව භාවිතා කළ යුතු ඒවා නොවන බවයි.ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධතිවල තත්ත්වයද මීට සමාන පසුබෑමකට ලක්ව ඇත. පසුගිය ගිම්හානයේ ඉරානයට එරෙහි බෝම්බ හෙලීමේ මෙහෙයුම් අතරතුර, ඉරානය විසින් ඊශ්‍රායලයට බැලිස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව 'ටර්මිනල් හයි-ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස්' හෙවත් THAAD පද්ධති දෙකක් ඊශ්‍රායලයේ ස්ථානගත කළ අතර, පෙන්ටගනය විසින් මෙතෙක් මිලදී ගෙන ඇති සමස්ත මිසයිල ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ වන මිසයිල 150 කට වඩා එහිදී වෙඩි තබා ඇත. ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමක් වන ලොක්හීඩ් මාටින් (Lockheed Martin) ආයතනය මීට පෙර වසරකට නිෂ්පාදනය කළේ මෙවැනි මිසයිල 100 ක් පමණක් වන අතර ඉන් එකක වටිනාකම ඩොලර් මිලියන 13 කට ආසන්න වේ. සම්පූර්ණ THAAD පද්ධතියක වටිනාකම ඩොලර් බිලියනයකට වඩා වැඩිය. ඇමරිකාව සතුව ලොව පුරා ඇත්තේ මෙවැනි පද්ධති අටක් පමණක් වන අතර, වත්මන් ගැටුමේදී ඉරාන ප්‍රහාරයකින් ඉන් එකකට හානි සිදුවීම හේතුවෙන් උතුරු කොරියාවට එරෙහිව දකුණු කොරියාවේ ස්ථානගත කර තිබූ පද්ධතියක කොටස් මේ වන විට ගෙන්වා ගනිමින් පවතී. මෙම කුඩා සංඛ්‍යාවක් වන විශේෂිත පද්ධති අක්‍රිය වීම චීනය සමඟ ඇතිවිය හැකි ගැටුමකදී දැඩි අවදානමක් විය හැකි බව ටොම් කරාකෝ පෙන්වා දෙයි.
CSIS ආයතනය විසින් 2023 දී සිදුකරන ලද යුධ අභ්‍යාසයකට අනුව, තායිවානය සම්බන්ධයෙන් චීනය සමඟ ගැටුමක් ඇති වුවහොත් ඇමරිකාව සතුව ඇති ප්‍රධාන ආයුධ සංචිත මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවත්, ඇතැම් මිසයිල වර්ග දින තුනක් හෝ හතක් වැනි කෙටි කාලයක් තුළ අවසන් වනු ඇති බවත් අනාවරණය විය. ඉරාන යුද්ධය හේතුවෙන් ආයුධ සංචිත විශාල ලෙස ක්ෂය වීමට පෙර පවා මෙම තත්ත්වය පැවතුණි. දිගුකාලීන යුද්ධයක් ජයග්‍රහණය කිරීම සඳහා ඇමරිකානු ආරක්ෂක කර්මාන්තයට අවශ්‍ය සම්පත් නොමැති බව රිපබ්ලිකන් පක්ෂ නියෝජිත ජෝන් මූලෙනාර් ප්‍රකාශ කළේය. සෙනෙට් සභික මාක් වෝනර් පවසන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව දැවැන්ත ප්‍රහාර එල්ල කළද ඉරානය තවමත් නොවැටී සිටීම පිළිබඳව චීන නිලධාරීන් නිරීක්ෂණය කරමින් සිටිනු ඇති බවත්, එමඟින් ඇමරිකානු හමුදාවේ රැඳී සිටීමේ හැකියාව පිළිබඳව ඔවුන් තුළ ප්‍රශ්නාර්ථයක් මතු කරනු ඇති බවත්ය. යුක්‍රේනයට ආයුධ සැපයීමේදී ඇතිවූ දුෂ්කරතා තමා රජයේ සේවය කළ කාලය තුළ දුටු කම්පනයට පත්කළම කාරණය බව බයිඩන්ගේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජොන් ෆයිනර් සඳහන් කළේය.
(වොෂින්ටන් පෝස්ට් ඇසුරිනි)



