කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු වාලම්පූරියක් අලෙවි කිරීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුපියල් ලක්ෂ තිස් පහක අතිවිශාල මුදලකට මෙම වාලම්පූරිය විකිණීම සඳහා මොහු උත්සාහ කර ඇති බව සඳහන් වේ.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 08 වැනිදා සවස් භාගයේදී කළුතර නාගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.පෞද්ගලික තොරතුරුකරුවෙකු හරහා ලැබුණු රහසිගත ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව උපාය දූතයෙකු යොදවා අදාළ සැකකරුව කළුතර නාගොඩ පිහිටි ලංගම බස් ඩිපෝව අසලට ගෙන්වා ගැනීමට පොලිසිය සමත් වී ඇත. එහිදී අදාළ උපාය දූතයාට රුපියල් ලක්ෂ තිස් පහකට අදාළ භාණ්ඩය විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු මෙලෙස නිලධාරීන්ගේ ග්‍රහණයට නතු වී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් මෙම වාලම්පූරිය, ටයිටන් නැමති විශේෂයට අයත් ඉතාමත් දුර්ලභ මෙන්ම දැඩි ලෙස නීතියෙන් ආරක්ෂිත මුහුදු බෙල්ලෙකුගේ පිට කටුවක් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා දකුණු කළුතර පොලිස් ස්ථානය වෙත භාර දීමට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ පුද්ගලයාව පසුගිය 09 වැනිදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



