කොළඹ මැගසින් බන්ධනාගාරයේදී ඊයේ (27) පෙරවරුවේ හටගත් ආරවුලක් හේතුවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සිද්ධියට අදාළව මේ වන විට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කොළඹ 14, නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කරන පරිදි, සිර මැදිරියෙන් පිටත රැඳී සිටි රැඳවියන් දෙදෙනෙකු පලා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙකු එය වැළැක්වීමට යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත.
එහිදී තුවාල ලැබූ රැඳවියන් දෙදෙනා සහ බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම මරණය සිදුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එහෙත්, මියගිය රැඳවියාගේ ඥාතීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කරනු ලබයි.
මියගිය පුද්ගලයාගේ සහෝදරියක් සහ මවක් ප්‍රකාශ කරන්නේ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇති බවත්, මියගිය රැඳවියා සමග සිටි අනෙක් රැඳවියාටද මාංචු දමා එල්ලා පහර දී ඇති බවත්ය.
එලෙසම, මෙම සිද්ධිය රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ලෙස හුවා දැක්වීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද මියගිය පාර්ශ්වය අවධාරණය කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බොරැල්ල පොලීසිය විසින් ඊයේ දිනයේදී මැගසින් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද (28) උදෑසන තවත් බන්ධනාගාර නියාමකවරයෙකු බොරැල්ල පොලීසියට භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
මීට සමගාමීව, සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහාද විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් තහවුරු කර තිබේ.
