සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ ප්‍රබල සාමාජිකයින් හත් දෙනෙකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට වැලිසර නාවික හමුදා කඳවුරේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ අධි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත මාරු කර යවා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ අදාළ ස්ථාන මාරුවීම ඊයේ දිනයේදී සිදු කළ බවයි.
මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට මෙරට පාතාල ලෝකයේ ප්‍රසිද්ධ මෙන්ම ප්‍රබල චරිත කිහිපයක්ම අයත් වේ. ඒ අනුව "වෙලේ සුදා", "දෙමටගොඩ චමින්ද", "ලොකු පැටී", "මිදිගම රුවන්", "බැකෝ සමන්", "ආමි සම්පත්" සහ "මන්නා රමේෂ්" යන අපරාධකරුවන් මෙලෙස නව රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී පවා මෙම ඇතැම් රැඳවියන් විසින් සිය අපරාධ ජාලයන් අඛණ්ඩව මෙහෙයවමින් සිටින බවට බුද්ධි අංශ මගින් ලබා දුන් තොරතුරු මෙම තීරණය සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඊට අමතරව, මෙම ඉහළ පෙළේ රැඳවියන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු ද මෙම කඩිනම් පියවර ගැනීමට හේතු වූ බව බලධාරීහු පෙන්වා දෙති.
වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ අලුතින්ම ඉදිකර ඇති මෙම බන්ධනාගාරය, වඩාත් පුළුල් කළ දැඩි ආරක්ෂක විධිවිධානවලින් සමන්විත වේ. ඉහළ අවදානමක් සහිත සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තැබීම සඳහාම වෙන් කර ඇති මෙම නව පහසුකම වෙත ඇතුළත් කළ ප්‍රථම රැඳවියන් බවට පත්ව ඇත්තේ ද මෙම පිරිසයි.




