2025 වර්ෂයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (මාර්තු 31) රාත්‍රියේ නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ.
කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, සියලුම අයදුම්කරුවන්ට www.doenets.lk හෝ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බවයි.මෙවර විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනාගත් සිසුන්ගේ තොරතුරු මේ වන විට තහවුරු වී ඇත. ඒ අනුව,
ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න විසින් දිනාගෙන ඇති අතර ගණිත (භෞතිය විද්‍යා) අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වීමට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෙයිවෙන්තිරන් තිරුක්කුමාරන් සමත් වී ඇත.
වාණිජ අංශයෙන් මඩකලපුව, කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයේ මොහොමඩ් සුබයිඩීන් මොහොමඩ් ෆර්තාන් දිවයිනේ ප්‍රථමයා වී ඇති අතර, කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක වෙත හිමිව ඇත.
මීට අමතරව, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා සමත් වී තිබේ.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය සමත් වී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අනාවරණය කළේ, මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව අපේක්ෂකයින් 8,300 දෙනෙකු විශිෂ්ට සාමාර්ථ තුනක් (3 As) ලබාගැනීමට සමත් වී ඇති බවයි. මෙම ඉහළම ප්‍රතිඵල ලාභීන් අතරට පාසල් අයදුම්කරුවන් 7,477ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 823ක් ඇතුළත් වන බව තහවුරු කර ඇත.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුණු 2025 උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ලෙස සමස්ත අපේක්ෂකයින් 281,810ක් පෙනී සිට ඇත. ඉන් සිසුන් 176,527ක් එනම් සියයට 62.64ක ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ. විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ එම පිරිසට පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් අයත් වන බව විභාග දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ. එසේම, අයදුම්කරුවන් 111 දෙනෙකුගේ ප්‍රතිඵල විවිධ හේතූන් මත අත්හිටුවීමට පියවර ගෙන ඇත.
2026 අප්‍රේල් මස 01 වැනිදා සිට සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් සිය ප්‍රතිඵල සටහන (Result Schedule) බාගත කරගැනීමට පහසුකම් සලසා තිබේ. විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ද ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීම සඳහා වෙනම සබැඳි හඳුන්වා දී ඇති අතර, මුද්‍රිත ප්‍රතිඵල ලේඛන පසුව පාසල් වෙත යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ඉහත වෙබ් අඩවි සබැඳිය ඔස්සේම 2026 අප්‍රේල් 06 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 0112785922, 0112784537 ඇතුළු සෘජු දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.


