yaka-tattoo-was-arrested-by-taking-a-plate-inside-a-prison-bus

වැලිකඩ බන්ධනාගාර රෝහල අසල නවතා තිබූ බන්ධනාගාර බස් රථයක් තුළදී රැඳවියන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් සැකකාර රැඳවියෙකු දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙල්ල කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී ඇත. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි පෙරේදා (07) සවස මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, සැකකරුගේ ග්‍රහණයේ සිටි ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට ද නිලධාරීන්ට හැකි වී තිබේ.




මෙම සැකකාර පුද්ගලයා කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ජාවාරම් කිරීම්, පහරදීම් සහ මරණ තර්ජන එල්ල කිරීම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙකි. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී සිටීමෙන් පසු තවත් රැඳවියන් පිරිසක් ද සමඟ මෙම බස් රථයෙන් ඔහු වැලිකඩට රැගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුව ගාල්ල බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමේ අරමුණෙනි.

තමන්ව බූස්ස කඳවුර වෙත රැගෙන යාමට එරෙහි වූ මෙම සැකකරු, බස් රථය වැලිකඩ රෝහල ඉදිරිපිට නවතා තිබියදී හදිසියේම එහි දොරගුළු දමා සෙසු රැඳවියන් දෙදෙනෙකුගේ ගෙලට තියුණු තහඩුවක් තබා ප්‍රාණ ඇපයට ගෙන තිබේ. තමන්ව බූස්ස බන්ධනාගාරයට රැගෙන ගියහොත් එම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගේ ගෙල කපා දමන බවට ඔහු එහිදී බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කර ඇත.




තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් බස් රථයේ දොරගුළු කඩාගෙන එක්වරම ඇතුළට කඩා වැදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට කටයුතු කර තිබේ. එහිදී ඇති වූ දැඩි පොරබැදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකාර රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. මෙම සැකකරුට එරෙහිව හෙරොයින් ජාවාරම්, පහරදීම් සහ මරණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් කෑගල්ල, රත්නපුර සහ රුවන්වැල්ල යන අධිකරණවල නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් තහවුරු කළේය.