බුලත්සිංහල ප්‍රදේශයේ පැවති සංගීත සැඳෑවකදී ඇති වූ ගැටුමක් පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් බුලත්සිංහල, ගවරගිරිය සහ නිග්ගහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල්ගත කර ඇත.මෙම සංගීත ප්‍රසංගය බුලත්සිංහල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් සංවිධානය කර තිබූ අතර, එය පසුගිය 07 වනදා රාත්‍රියේ බුලත්සිංහල ක්‍රීඩාංගණයකදී පවත්වා ඇත. රාත්‍රී 1.00 ට පමණ එහි සිටි බීමත් පුද්ගලයින් පිරිසක් තරුණියක සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. ප්‍රසංග භූමියේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් වහාම මැදිහත් වී තත්ත්වය පාලනය කර, ගැටුමට සම්බන්ධ පිරිස් ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, ක්‍රීඩාංගණයෙන් පිටතට ගිය එම කණ්ඩායම් නැවතත් එකිනෙකා සමඟ ගුටිබැට හුවමාරුවක නිරත වී ඇති අතර, එහිදී පිටත රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තත්ත්වය සමනය කිරීමට යළිත් මැදිහත් වී තිබේ. එහිදී කෝපයට පත් පිරිස අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට දැඩි සේ පහර දී ඇති අතර, එක් නිලධාරියෙකුගේ නිල ඇඳුම ද ඉරා දමා ඇත. පහරකෑමෙන් තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා මූලික ප්‍රතිකාර සඳහා බුලත්සිංහල රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලටත් මාරු කර යවා තිබේ.
ගැටුම හටගත් ස්ථානය පරීක්ෂා කිරීමේදී යකඩ කැබැල්ලක් සවිකරන ලද අඩි හතරක් පමණ දිගැති වානේ කම්බියක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු නුදුරේදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති අයි. එස්. එන්. කස්තුරිආරච්චි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.