ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයට එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ. සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හරහා කලාපීය ගැටුම් සමනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි උත්සාහයක් දරමින් සිටියදී, ඉරානය විසින් මෙලෙස නීතිවිරෝධී සහ අසාධාරණ ප්‍රහාර දියත් කර ඇත.
මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව ඇත්තේ කලාපයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු පමණක් නොව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් සහ සිවිල් යටිතල පහසුකම් ද වීම විශේෂත්වයකි. වාර්තා වන අන්දමට, මේ වන විට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 137කට අධික ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 200කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව ගුවනේදීම විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වී ඇත. ලොව ඇති හොඳම ගුවන් සහ මිසයිල ආරක්ෂක පද්ධතියක් තමන් සතු බවත්, ඒ හරහා රටේ යටිතල පහසුකම් මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පූර්ණ විශ්වාසයක් පවතින බවත් බලධාරීහු අවධාරණය කරති. ප්‍රහාර මැඩපැවැත්වීමේදී ඇති වූ මහත් ශබ්ද හේතුවෙන් ජනතාව යම් භීතියකට පත් වුවද, ඉන් සිදු වූ හානි බොහෝදුරට මිසයිල සුන්බුන් කඩා වැටීමෙන් සිදු වූ ඒවා බව තහවුරු වී තිබේ. එබැවින් විදේශිකයන් සහ ස්වදේශිකයන් යන සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට රජය සහතික වේ. මේ සම්බන්ධයෙන් UAE රජයේ ප්‍රකාශිකාවක CNN අමතා පළ කළ අදහස් පහත පරිදිය.මෙතෙක් ඉලක්ක සහ ජීවිත හානිවල පරිමාණය සහ අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවත් කුමක් සඳහා සූදානම් වන්නේද ?
මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි. මෙය අපට ඇත්තටම පෙර නොවූ විරූ කාලයක්. සංවාදය සහ ගැටුම් සමනය කිරීම දිරිමත් කරමින් පසුගිය සති සහ මාස කිහිපය තුළ අප මඟ හැරීමට උත්සාහ කළේ මෙයයි. අවාසනාවකට, අපි දැන් සිටින්නේ ඉරානය ඉතා අසාධාරණ සහ ඉතා නීතිවිරෝධී ක්‍රියාමාර්ග හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පමණක් නොව සෙසු ගල්ෆ් කලාපයටත් ඉන් ඔබ්බටත් ප්‍රහාර එල්ල කර ඇති තත්ත්වයකයි. එය අප කිසිසේත් පිළිගන්නා දෙයක් නොවෙයි. අප සතුව ලෝකයේ හොඳම ආරක්ෂක පද්ධතිවලින් එකක් තිබෙනවා. එමෙන්ම අපගේ යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව සහාය වීමට සහ මෙහි ජීවත් වන ජනතාව ආරක්ෂා කිරීමට අපට හැකි වන බවට අපට විශ්වාසයි. ඔබ සඳහන් කළා වගේම බොහෝ පදිංචිකරුවන්ට මෙය බියජනක කාලයක් බව මම දන්නවා, මොකද ඔබ හරි; අපි මෙවැනි විශාල ශබ්ද සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. නමුත් ඒ සමඟම, ඒවා මිසයිල ගුවනේදී විනාශ කිරීමේ ශබ්ද වන අතර, හානියක් සිදුවී ඇති තැන්වල මූලික වශයෙන් ඇත්තේ සුන්බුන් පමණයි. ඒ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට, එනම් විදේශිකයන්ට මෙන්ම ස්වදේශිකයන්ටද, අප සතුව ලෝකයේ හොඳම ගුවන් හා මිසයිල ආරක්ෂණ පද්ධතිවලින් එකක් ඇති බවත්, අපගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය අඛණ්ඩව තහවුරු කිරීමට අප සෑම දෙයක්ම කරන බවත් නැවත තහවුරු කිරීම වැදගත් බව මම සිතනවා.
මෙම තර්ජන මූලික වශයෙන් එල්ල වුණේ මෙම කලාපය පුරා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති එක්සත් ජනපද කඳවුරුවලටයි. නමුත් මෙම ප්‍රහාර ඊට වඩා පුළුල් වී තිබෙනවා. උදාහරණයක් විදිහට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් සහ සිවිල් යටිතල පහසුකම් වැනි දේවලට එල්ල වූ ප්‍රහාර මම දකිනවා. මෙය තවත් කොතරම් නරක අතට හැරිය හැකි යැයි ඔබ බිය වෙනවාද? සහ මෙහි ඉලක්ක කිරීම් ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?
ඔවුන් කුමන ආකාරයකින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය වුවත්, අපි ඒ සඳහා සූදානම්ව සිටිනවා. ඇත්ත වශයෙන්ම අපට තවදුරටත් ගැටුම් උත්සන්න වීමක් අවශ්‍ය නැහැ. අපි සන්සුන් සහ කල්පනාකාරී ප්‍රතිචාර ඉල්ලා සිටිනවා. නමුත් ඒ හා සමානවම, ඔබ කලින් සඳහන් කළ පරිදි, බැලස්ටික් මිසයිල 137 කට වැඩි ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 200 කට වැඩි ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක පද්ධතිය මගින් ගුවනේදී විනාශ කර තිබෙනවා. අපි තවදුරටත් ඉල්ලා සිටින්නේ ගැටුම් සමනය කරන ලෙසයි. අපි ලොව පුරා සිටින අපගේ හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින අතර, ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල්ද මෙයට ඈඳා ගැනීමෙන් මෙය විශාල කලාපීය ස්වභාවයක් ගෙන ඇති බැවින්, හවුල්කරුවන්ගෙන් සහයෝගය සහ සම්බන්ධීකරණය පමණක් නොව මේ පිළිබඳව දැඩි හෙළා දැකීම් ද අපට ලැබෙමින් පවතිනවා. රාජ්‍ය තාන්ත්‍රිකත්වය ඉදිරියට යා හැකි එකම මාර්ගය බව තර්ක කරමින්, ගැටුම් සමනය කරන ලෙස ඔබ ඉල්ලා සිටියා. ප්‍රහාර හෙළා දකිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ගල්ෆ් කලාපයෙන් නිකුත් වූ නිල ප්‍රකාශ මෙන්ම, "ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අයිතිය අපි රඳවා ගනිමු" යන පැහැදිලි පණිවිඩයද අපි දැන් දැක තිබෙනවා.
එම ප්‍රතිචාරය කෙබඳු වේවිද?
එය තීරණය වන්නේ පවතින තත්ත්වය මතයි. එය මේ මොහොතේ ඉතා ඉක්මනින් වෙනස් වන සහ ක්‍රියාකාරී තත්ත්වයක්. නමුත් අපව ආරක්ෂා කර ගැනීමට ගත හැකි කිසිදු පියවරක් අප අතපසු නොකරන බවටත්, ඒ සඳහා අපි සූදානම් බවටත් මේ රටේ ජනතාවට සහතික විය හැකියි. එය ඒ තත්ත්වයට පත් නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, නමුත් ඒ හා සමානවම, නීතිවිරෝධී සහ අසාධාරණ වූ මෙවැනි ප්‍රහාර මාලාවකට අඛණ්ඩව ගොදුරු වෙමින් අප නිහඬව බලා සිටින්නේ නැහැ.
(CNN)