ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු අණදෙන නිලධාරීන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වනවිට වාර්තා පළ වී තිබේ. කමේනිගේ කාර්යාල සංකීර්ණයට මිසයිල 30ක් පමණ එල්ල වී ඇති අතර, මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දියණිය, බෑණා, මිණිබිරිය සහ ලේලියද මියගොස් ඇත.
ටෙහෙරානය ඇතුළු ප්‍රධාන නගර 10ක් ඉලක්ක කරගනිමින් දියත් වූ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් පාසලකට මිසයිලයක් පතිත වීමෙන් පාසල් දැරියන් 148 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් 740කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. කමේනිගේ අභාවයත් සමඟ ඉරානය තුළ දින 40ක ජාතික ශෝක කාලයක් සහ දින හතක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉතිහාසයේ සිටි කෲරතම පුද්ගලයෙකු මියගිය බවත් එයින් ඇමරිකාවට මෙන්ම ලොවටම යුක්තිය ඉටුවූ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහන් කර තිබුණි.මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව විසින් ඊශ්‍රායලයට සහ මැදපෙරදිග කලාපයේ තවත් රටවල් 8කට දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. ඊශ්‍රායලයට පමණක් මිසයිල 400කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති ඉරානය, ඊට අමතරව කටාර්, කුවේට්, ජෝර්දානය, බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාකීර්ණම නගරය වන ඩුබායි නුවර බර්ජ් කලීෆා ගොඩනැගිල්ල සහ පාම් රිසෝට් අවට මෙන්ම බහරේනයේ නේවාසික ගොඩනැගිලි වෙතද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වේ. ඉරානය සහ ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් අතර මෙම ගැටුම් උග්‍ර වීමට ප්‍රධාන වශයෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඔවුන්ගේ බැලස්ටික් මිසයිල ව්‍යාපෘතිය, ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය වැනි රටවලට ඉරානය විසින් සිදුකරන මැදිහත්වීම් මෙන්ම ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක යන කරුණු හේතු වී ඇත.
නායකයාගේ අභාවයෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා හෙවත් 'රහ්බාර්' ලෙස කමේනිගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි පත්වනු ඇති බවට පුළුල් විශ්වාසයක් පවතී. සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් 2024 වසරේ සැප්තැම්බර් 26 වන දින විශේෂඥයින් 88 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් 60 දෙනෙකු රහසිගතව කැඳවා ඔහුව මීළඟ නායකයා ලෙස තෝරාගෙන ඇති අතර, ඒ සඳහා ඔහු පසුගිය වසර දෙකක කාලය පුරා පුහුණුව ලබා ඇත. ඉස්ලාමීය කටයුතු පිළිබඳ ප්‍රවීණයෙකු වන මොජ්තබා, 2009 වසරේ ඉරානයේ ජනාධිපතිවරණයේදී මහමුද් අහමදිනෙජාද්ට එරෙහිව මීර් හොසේන් මූසවිගේ ආධාරකරුවන් විසින් දියත් කළ 'හරිත ව්‍යාපාරය' නම් වූ දැවැන්ත විරෝධතා මර්දනය කිරීම හරහා පළමු වරට ලෝකයේ අවධානයට ලක්විය. ඔහු රජයේ නිල තනතුරක් නොදැරුවද සහ ප්‍රසිද්ධියේ කතා නොකළද, ඉරාන බුද්ධි අංශ සහ රජයේ තීරණාත්මක ක්‍රියාවලීන් පිටුපස සිටින ප්‍රබලම චරිතයක් ලෙස සැලකෙන අතර, හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණයෙන් පසු මොජ්තබාගේ බලය තවත් තහවුරු විය.
ලෝකයේ ආගමික නායකයෙකුට වැඩිම බලයක් හිමි රටවල් දෙකක් වන වතිකානය සහ ඉරානය අතුරින්, ඉරානයේ සමස්ත පාලනය, හමුදාව සහ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවනු ලබන්නේ මෙම උත්තරීතර නායකයා විසිනි. ඉරාන පාලන ව්‍යුහය තුළ මෙම නායකයාට අමතරව, මහජනතාව විසින් වසර 8කට වරක් පත්කරන 88 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක්, රටේ දෙවන ප්‍රබලතම පුද්ගලයා වන ජනාධිපතිවරයා, වසර 6කට වරක් පත්වන ආගමික නායකයින් 6ක් සහ විනිසුරුවන් 6කින් සමන්විත ආරක්ෂක කවුන්සිලය මෙන්ම වසර 4කට වරක් පත්වන මන්ත්‍රීවරුන් 290කින් යුත් පාර්ලිමේන්තුවක් ද ක්‍රියාත්මක වේ. 1939 අප්‍රේල් 19 වන දින මෂ්හද් නුවර උපත ලැබූ අයතුල්ලා අලි කමේනි, 1963 දී ෂා පාලනයට එරෙහිව කතා කිරීම නිසා අත්අඩංගුවට පත්වූ අතර, 1979 ඉස්ලාමීය විප්ලවයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. 1981 දී බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගෙන එරට තෙවන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඔහු, 1989 දී රුහොල්ලා කුමේනිගේ අභාවයෙන් අනතුරුව වසර 37ක් පුරා ඉරානයේ ඉහළම බලය හෙබවීය.