the-worlds-powerful-countries-are-looking-for-alternatives-to-oil-supplies---the-threat-is-not-about-security-but-about-insurance-risks

ඉරාන අර්බුදය උත්සන්න වීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති පසුබිමක, ආසියානු රජයන් සහ ඛනිජ තෙල් පිරිපහදු සමාගම් තම තෙල් සංචිත සහ විකල්ප සැපයුම් මාර්ග පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. සඳුදා දිනයේදී වෙළෙඳ කටයුතු යළි ආරම්භ වීමත් සමඟම ගෝලීය බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.




මැදපෙරදිග තෙල් සැපයුමට එල්ල වන ඕනෑම බාධාවකින් දැඩිම බලපෑමක් එල්ල වන්නේ ආසියානු කලාපයටයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ආසියාවට අවශ්‍ය බොරතෙල්වලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් ගල්ෆ් කලාපයෙන් ආනයනය කිරීමයි. ලොව ප්‍රමුඛතම තෙල් ආනයනිකයා වන චීනය සිය සැපයුමෙන් අඩක් ද, ජපානය සිය සැපයුමෙන් සියයට අනූවක් ද ලබා ගන්නේ මෙම කලාපයෙනි. ඕමාන් සහ ඉරානය අතර පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය දිනයකදී ලෝකයේ දෛනික තෙල් පරිභෝජනයෙන් සියයට විස්සක් පමණ ප්‍රවාහනය කෙරෙන අතර, සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ කටාර් වැනි රටවල නිෂ්පාදන ඊට ඇතුළත් වේ.

මේ වන විටත් ජපාන නාවික සමාගම් කිහිපයක්ම හෝමුස් සමුද්‍ර සන්ධිය අවට සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ජපානයට අවශ්‍ය තෙල් සැපයුම කෙරෙහි මෙතෙක් ක්ෂණික බලපෑමක් එල්ල වී ඇති බවට වාර්තා වී නොමැති බව එරට ප්‍රධාන කැබිනට් ලේකම් මිනොරු කිහාරා මහතා ප්‍රකාශ කළේය. මේ අතර, ලෝකයේ දෙවන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාවේ රාජ්‍ය ඛනිජ තෙල් පිරිපහදු සමාගම් දැනටමත් විකල්ප සැපයුම්කරුවන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත. රුසියානු බොරතෙල් වෙනුවට මැදපෙරදිගින් ආනයනය කිරීම වැඩි කර තිබූ ඉන්දියාවට, ඉදිරි දින විස්සක කාලයක් සඳහා ප්‍රමාණවත් වන බොරතෙල් සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු සංචිත පවතින බව අදාළ නිලධාරීන් තහවුරු කර තිබේ.




වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, තෙල් යටිතල පහසුකම්වලට මෙතෙක් හානියක් සිදුවී නොමැති බැවින් සහ ඔපෙක් ප්ලස් (OPEC+) රටවලින් නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අනාගතයේදී මිල ඉහළ යාමේ තත්ත්වය යම් තරමකට පාලනය වනු ඇත. දැනට ක්ෂේත්‍රය මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය වන්නේ මුහුදු මාර්ගය අවහිර කිරීමක් නොව, රක්ෂණ කටයුතු සම්බන්ධයෙන් උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය මන්දගාමී වීමයි. මේ හේතුවෙන් ප්‍රධාන පෙළේ ටැංකි හිමිකරුවන් සහ වෙළෙඳ සමාගම් ගණනාවක්ම අදාළ මුහුදු සීමාව හරහා බොරතෙල්, ඉන්ධන සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රවාහනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

දකුණු කොරියානු රජය ද විශේෂ හදිසි සාකච්ඡාවකින් අනතුරුව නිවේදනය කර ඇත්තේ, සැපයුම් බාධාවන් දීර්ඝකාලීනව පැවතියහොත් දේශීය කර්මාන්ත වෙත රජයේ තෙල් සංචිත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි. එරට සතුව මාස හතක කාලයක් සඳහා ප්‍රමාණවත් වන තෙල් සංචිත පවතින අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී ගියහොත් ආසියානු කලාපය තුළින්ම හදිසි සැපයුම් ලබාගැනීමට ද ඔවුන් සූදානමින් සිටියි. මේ අතර, චීනය පසුගිය මාස කිහිපය තුළ සිය බොරතෙල් සංචිත විශාල වශයෙන් ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. තායිවාන ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මැදපෙරදිගින් සිදුකරන තෙල් සහ ගෑස් ආනයනය වාර්ෂිකව අඩු කර ඇති බැවින්, ඔවුන්ගේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුම් කටයුතු සැලසුම් කළ පරිදිම කිසිදු බාධාවකින් තොරව සිදුවන බවයි.
 (රොයිටර්ස් වාර්තාව ඇසුරින්)