ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කරමින් සහ සමස්ත කලාපයම යුද්ධයකට ඇද දමමින් එල්ල කළ ප්‍රහාරයෙන් එක් දිනකට පසු, ඉරානයේ නව නායකත්වය තමා සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවත් ඊට තමා එකඟ වූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි the atlantic සඟරාව පළ කළ අලුත්ම වාර්තාවක දැක්වේ.
ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ (Mar-a-Lago) හි සිට පෙරවරු 9:30 ට පමණ ලබා දුන් දුරකථන ඇමතුමකදී ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරාන බලධාරීන් මෙම තීරණය මීට බොහෝ පෙර ගත යුතුව තිබූ බවයි. සාකච්ඡා සිදුවන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු, මෑත සතිවල සාකච්ඡා සඳහා සම්බන්ධ වූ ඇතැම් ඉරාන නියෝජිතයන් අමෙරිකාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මියගොස් ඇති බවද පෙන්වා දුන්නේය.
ප්‍රහාරක මෙහෙයුම අවසන් වූ පසු වත්මන් පාලනයට එරෙහිව නැගී සිටින ලෙස ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ වීඩියෝවක් මගින් ට්‍රම්ප් ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජනතා නැගිටීමකට සහාය දීම සඳහා අමෙරිකානු බෝම්බ හෙලීමේ මෙහෙයුම් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව ඔහු ස්ථිර පිළිතුරක් ලබා නොදුන් අතර, ඒ පිළිබඳව තීරණය කළ හැක්කේ එම අවස්ථාවේ පවතින තත්ත්වය අනුව බව ප්‍රකාශ කළේය. එසේ වුවද, ඉරානය ඇතුළත මෙන්ම නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් වැනි නගරවල වෙසෙන ඉරාන ජාතිකයන්ගේ සැමරුම් පිළිබඳව අදහස් දක්වමින්, සාර්ථක ජනතා නැගිටීමක් නුදුරේදීම සිදුවනු ඇතැයි ඔහු දැඩි විශ්වාසයක් පළ කළේය. පාලනය පෙරළා දැමීමට සහාය දක්වන පිරිස් මෙන්ම, ඊට නුදුරින් යුද විරෝධී උද්ඝෝෂණ පවත්වන පිරිස්ද දක්නට ලැබෙන පසුබිමක වුවද, බෝම්බ ප්‍රහාර මධ්‍යයේ ඉරාන වැසියන් දක්වන ප්‍රතිචාරය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවද ඔහු කියා සිටියේය.
ප්‍රහාරය ආරම්භ වීමත් සමඟ අමෙරිකාවට එරෙහිව ඉරානයෙන් එල්ල විය හැකි ඝාතන තර්ජන පිළිබඳව කිසියම් හෝ නව ඉඟියක් ලැබී ඇත්දැයි විමසූ විට, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. මේ අතර, මෙම මෙහෙයුමේදී අමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත් අමෙරිකානු හමුදා නිලධාරීන් විසින් නිවේදනය කරනු ලැබූ අතර, මෙය වත්මන් මෙහෙයුමේ පළමු අමෙරිකානු ජීවිත හානි වාර්තා වීමයි.
මෙම ප්‍රහාරය එළඹෙන මැදවාර මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළට කිසිදු බාධාවක් ඇති නොකරනු ඇතැයි ට්‍රම්ප් අපේක්ෂා කරයි. අමෙරිකාව මේ වන විට ඉතිහාසයේ හොඳම ආර්ථික මට්ටමේ පසුවන බවත්, මෙහෙයුමේ මූලික සාර්ථකත්වය හේතුවෙන් තෙල් වෙළෙඳපොළට සහ පාරිභෝගිකයින්ට ඇතිවිය හැකිව තිබූ දැඩි බලපෑම අවම වී ඇති බවත් ඔහු අවධාරණය කළේය. වසර හතළිස් හතක් පුරා ඉරානය සිදුකළ ක්‍රියාවන් දැන් ඔවුන්ටම එරෙහිව හැරී ඇති බව පවසමින් ඔහු තවදුරටත් කරුණු දැක්වීය.
(the atlantic)