attack-on-iranian-state-television-headquarters

ඉරිදා සන්ධ්‍යාවේදී ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්හි පිහිටි එරට රාජ්‍ය රූපවාහිනී මූලස්ථානයේ කොටසකට ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව ඉරානය වාර්තා කරයි. ඉස්ලාමීය ජනරජයේ ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන මූලස්ථානයට (IRIB) මෙලෙස ඇමරිකානු සහ ඊශ්‍රායල යුද ගුවන් යානා මගින් ප්‍රහාර එල්ල කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍යයක් වන ප්‍රෙස් ටීවී (Press TV) විසින් තහවුරු කර තිබේ.

මීට අමතරව අගනුවර නේවාසික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ද ප්‍රහාර එල්ල වී ඇති බව එම මාධ්‍ය ආයතනය වැඩිදුරටත් පවසයි.




මෙම තත්ත්වය හමුවේ ටෙහෙරාන් නුවර නැගෙනහිර, ගිනිකොන සහ මධ්‍යම ප්‍රදේශවලින් දැවැන්ත පිපිරුම් ශබ්ද ඇසුණු බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් අහසේ පුළුල් පිපිරීම් මාලාවක් සහ දුමාරයක් දක්නට ලැබී තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් හෝ අදාළ මාධ්‍ය සංකීර්ණයට සිදුවූ හානියේ සම්පූර්ණ ස්වභාවය පිළිබඳව මෙතෙක් කිසිදු නිල තොරතුරක් හෝ ස්වාධීන තහවුරු කිරීමක් ප්‍රකාශයට පත්වී නොමැත.

මෙම නවතම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ දෙපාර්ශවය අතර ගැටුම් ඉතාම උග්‍ර වෙමින් පවතින පසුබිමකය. ඉකුත් සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන නායකත්වයට සහ මූලෝපායික ස්ථානවලට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ ඉරාන නායකයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට දැඩි ප්‍රතිචාර දක්වමින් ටෙහෙරාන් පාලනය විසින් ඊශ්‍රායලය, ඇමරිකානු සම්පත් සහ ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.




පසුගිය වසරේ ජූනි මාසයේදී ද ටෙල් අවිව් සහ වොෂින්ටන් පාලනය විසින් මීට පෙර මෙවැනිම ප්‍රහාර මාලාවක් ඉරානය වෙත එල්ල කරන ලදී. පසුව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවසන් වූ එම ගැටුම්කාරී තත්ත්වය දින 12 ක යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණු බව වාර්තා වේ.