ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම විශේෂ සාකච්ඡාවේදී, ගෙවී යන වර්ෂය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට මීට පෙර අනුමත කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක මූල්‍ය ආධාර මුදල තවදුරටත් පුළුල් කරමින් එය ඩොලර් මිලියන 480ක් දක්වා ඉහළ නැංවීමට සභාපතිවරයා සිය එකඟතාවය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමණාකරණය වඩාත් යහපත් ආකාරයට වර්තමාන රජය පවත්වා යාම,
නාස්තිය අවම කිරීම හා ජනතාව පැත්තෙන් බලා තීන්දු ගැනීම සභාපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත. එසේම, රට තුළ වර්තමානයේ උද්ගතව පවතින අර්බුදකාරී වාතාවරණයට සාර්ථකව මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ඉතා කඩිනමින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට ද ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් එහිදී තීරණය කර තිබේ.
