the-tip-went-to-america-when-there-was-no-response-for-11-hours

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්  රහුමාන් පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් දක්වා තිබේ.

"ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය එකොළහක් ඒ නැව නවත්තගෙන හිටියා. නමුත් ආණ්ඩුව පැය එකොළහක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නෑ. ඒ වගේම, ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තිබුණා. ඒකට රටවල් හැත්තෑ හතරක් පමණ සහභාගි වෙලා තිබෙනවා.




 අපේ ලංකාවේ තිබෙන 'නන්දමිත්‍ර' නාවික නෞකාවත් මේ යුද අභ්‍යාසයට සහභාගි වුණා. ඒ වගේම නැව් හතළිස් දෙකක් සහභාගී වෙලා තියෙනවා. ආසියානු රටවල් විසි නවයක් මේ යුද අභ්‍යාසයට සහභාගි වෙලා තිබෙනවා. මේ යුද අභ්‍යාසය ඉවර වෙලා ඉන්දියාවේ දැනුම්දීමත් එක්ක මේ නැව නැවත ඉරානයට පිටත් වෙන්න ආවා. නමුත් අපි දන්නවා ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු යුද නැව් තිබෙන නිසා එයට ඉරානයට යන්න බැහැ.

මේ නැවට යන්න බැරි වුණ හින්දා තමයි ඒගොල්ලෝ නැව හරවාගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් වගේ දුර ප්‍රමාණයක පැය එකොළහක් නවත්තගෙන හිටියේ. ඒ නැව ගාල්ල වරායට එන්න ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා. මොකද, මේ යන ගමන් නෙමෙයි ගැහුවේ, නැව තිබුණේ මහ මුහුද මැද නවත්තගෙන. ඒගොල්ලන්ට යන්න බැරි වුණේ, ඉරානය අවට මුහුදේ... (අවසාන කරන්නම් කතානායකතුමා)... ඒ යන්න බැරි වුණේ ඒ කලාපයේම යුද්ධය යන හින්දා. මේ නැවට යන්න බැරි නිසා තමයි ඒගොල්ලෝ ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය එකොළහක් නැව නවත්තගෙන හිටියේ.




නමුත් ආණ්ඩුව පැය එකොළහක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නෑ. ඒ පැය 11 කාලය ගියාට පස්සේ තමයි කොහොම හරි මේ තොරතුර ඇමෙරිකානු හමුදාවට ගියේ. ඒ තොරතුර ගියාට පස්සේ තමයි, ඒගොල්ලන්ගේ සබ්මැරීන් එකක් මේ අවට තිබුණේ නැතත්, ගල්ෆ් කලාපයේ තිබුණ සබ්මැරීන් එකක් එහේ ඉඳන් මෙතැනට ආවේ මේකට පහර දෙන්න.

ඒ හින්දා මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි, ඇයි මේ පැය එකොළහක් තිස්සේ මේ නැව නවත්වාගෙන ඉන්න ඉඩ දුන්නේ? ජාත්‍යන්තර නීතිය අනුව අපි ඉන්දියාවත් එක්ක, ඉන්දිරා ගාන්ධි මැතිනියත් එක්ක අත්සන් කරපු ඉන්දියන් සාගරය හා සම්බන්ධව ඇතිකරගත් ගිවිසුම් රාශියක් තිබෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා, දයාසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අපි අත්සන් කරලා තිබියදී ඇයි ඒ නැවට ගාල්ල වරායට එන්න ඉඩ නොදුන්නේ කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. කතානායකතුමා, බොහොම ස්තූතියි."