the-main-disciple-of-harak-kata-caught-in-oman-to-the-island-of-midigama-chuti

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ක්‍රියාකාරිකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් 'මිදිගම චූටි' නැමැති 38 හැවිරිදි සැකකරු ඕමානයේ සිට අද (30) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ඕමානයේ මස්කට් නුවරට ගොස් මෙම අපරාධකරු භාරගෙන ඇති අතර, අද අලුයම 4.27 ට සලාම් එයාර් ගුවන් සේවයට අයත් ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් ඔහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සැකකරුගෙන් අවශ්‍ය මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ අතර, ඒ අනුව ඕමානයේ සුපිරි හෝටලයක සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා බලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබුණි. මීට සමගාමීව සැකකරුගේ අපරාධ වාර්තාවක් ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාව විසින් ඕමානයේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත යොමු කිරීමටද කටයුතු කර ඇත.

මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ සිදුකළ මිනීමැරුම්, මංකොල්ලකෑම්, නීතිවිරෝධී ලෙස ගිනිඅවි ළඟ තබාගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් දිවයිනේ අධිකරණ කිහිපයකම නඩු විභාග වෙමින් පවතී. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල සැඟවී සිටිමින් පසුගිය කාලසීමාව තුළ දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් ගණනාවක්ම මොහු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පවසන පරිදි අත්අඩංගුවට පත් මිදිගම චූටි යනු මෙරට ප්‍රබල පාතාල නායකයෙකු වන 'හරක් කටා' නැමැත්තාගේ රියැදුරා මෙන්ම ඔහුගේ ප්‍රධානතම ගෝලයා වේ. 2023 වසරේදී මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී, එම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහුව එතැනින් පන්නා දැමීමේ දැවැන්ත මෙහෙයුම විශාල මුදලක් වියදම් කරමින් සැලසුම් කර ඇත්තේ මෙම මිදිගම චූටි සහ හරක් කටාගේ තවත් ඥාතියෙකු වන 'මිදිගම රුවන්' විසිනි. පසුගිය වසරේ මැයි මාසයේදී මිදිගම රුවන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව හරක් කටාගේ සම්පූර්ණ මත්කුඩු ජාලයම මෙහෙයවා ඇත්තේ අද දින මෙරටට රැගෙන ආ මිදිගම චූටි විසිනි.