the-license-of-the-bandaragama-shed-which-was-used-for-oil-without-qr-will-be-revoked

බණ්ඩාරගම නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ඊයේ(17) දහවල් කාලයේදී හදිසියේම අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරියෙකු විසින් පියවර ගෙන තිබේ. ඊට මූලික හේතුව වී ඇත්තේ අදාළ පිරවුම්හල මගින් පාරිභෝගිකයින්ගේ QR කේතය පරීක්ෂා කිරීමකින් තොරව ඉන්ධන නිකුත් කරන බවට එල්ල වූ චෝදනාවයි.




මෙම හදිසි තීරණයත් සමඟ පැය ගණනාවක් පුරා ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිගු පෝලිම්වල රැඳී සිටි විශාල ජනතාවක් දැඩි අසීරුතාවයකට මුහුණ පෑහ. මේ සම්බන්ධයෙන් අදාළ ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ දිනය පුරාවටම QR කේත පද්ධතියේ තාක්ෂණික දෝෂයක් පැවති බවයි. එම පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, පෝලිම්වල සිටි පාරිභෝගිකයින් වෙනුවෙන් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබා දීමට තමන් කටයුතු කළ බව සේවකයින් එහිදී පෙන්වා දුන්හ.

මේ අතර, ඉන්ධන නිකුත් කිරීමේදී බලධාරීන් විසින් ලබා දී ඇති නියමිත උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එවැනි අක්‍රමිකතා සිදු කරන පිරවුම්හල් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා සංස්ථාව විසින් 0112106767 සහ 0117296130 යනුවෙන් විශේෂ දුරකථන අංක ද්විත්වයක් හඳුන්වා දී ඇත. එබැවින් අදාළ උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ස්ථාන පිළිබඳව එම අංක ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.