the-government-news-director-intervened-to-do-justice-to-the-employees-of-mawbima-newspaper

මව්බිම පුවත්පත වසා දැමීම හේතුවෙන් මාධ්‍යවේදීන් සහ එහි සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත් වී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ කෞශල්‍යා ආර්යරත්න මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා ගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගැනීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.




ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදය අතරතුර ඇය මෙම අදහස් පළ කළාය.

මව්බිම පුවත්පත වසා දැමීමට නියමිත බවට තොරතුරු ලැබීමත් සමඟ, එමඟින් පනස් දෙනෙකුට පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එසේම, අදාළ ආයතනයේ සේවකයන්ට වැටුප් සහ සමාජ අර්ථසාධක අරමුදල් ගෙවා නොමැති බවට වාර්තා වී ඇති අතර, ජනමාධ්‍යවේදීන් සඳහා නිසි පරිදි වැටුප් ගෙවිය යුතු බවට පසුගිය දින කිහිපය තුළදීද තමන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ බව ඇය සිහිපත් කළාය.




රජයක් ලෙස මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත්, මාධ්‍ය කර්මාන්තයක් ලෙස තිරසාර ලෙස පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරිය අවධාරණය කළාය.