america-in-military-operation-in-ecuador

අමෙරිකානු සහ ඉක්වදෝර සන්නද්ධ අංශ එක්ව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තීරණාත්මක ඒකාබද්ධ මෙහෙයුම් මාලාවක් ආරම්භ කර ඇති බව අමෙරිකානු දක්ෂිණ අණදෙන මූලස්ථානය අඟහරුවාදා නිවේදනය කළේය. දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව මෙන්ම කැරිබියන් කලාපය හරහා විහිදුණු රටවල් 31ක් ආවරණය කරන මෙම අණදෙන මූලස්ථානය 'X' සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව ප්‍රකාශ කළද, මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කිරීමෙන් දෙපාර්ශවයම වැළකී සිටියි.

ඉක්වදෝර ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරාත්මක මෙහෙයුම්වලට අදාළ තොරතුරු රහසිගතව තබා ඇති බවයි.




මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ නව අදියරක් සඳහා වොෂින්ටනය සම්බන්ධ වී ඇති බව ඉක්වදෝරය ප්‍රකාශ කර දිනකට පසුව මෙම නිල නිවේදනය නිකුත් කෙරිණි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු ලෙස සැලකෙන ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) අවධාරණය කළේ, වරායවල් භාවිත කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට කොකේන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමේ මෙහෙයුමට කලාපීය මිත්‍ර රටවල් සමඟ අමෙරිකාව ද එක්ව සිටින බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය සඳුදා අගනුවර වන කිටෝ (Quito) හිදී අමෙරිකානු දක්ෂිණ අණදෙන ප්‍රධානී ෆ්‍රැන්සිස් ඩොනොවන් සහ විශේෂ මෙහෙයුම් ප්‍රධානී මාර්ක් ෂේෆර් යන මහත්වරුන් හමුවී ඇත. එහිදී ගුවන් සහ නාවික වරායවල තොරතුරු හුවමාරුව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ලොව ප්‍රධානතම කොකේන් නිෂ්පාදන රටවල් වන කොලොම්බියාව සහ පේරු රාජ්‍යයේ නිපදවන මත්ද්‍රව්‍යවලින් සියයට හැත්තෑවක් පමණ අසල්වැසි ඉක්වදෝරය හරහා වෙනත් රටවලට ප්‍රවාහනය කෙරේ. මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ඇති වූ දරුණු කල්ලි ගැටුම් හරහා, ලතින් අමෙරිකාවේ පැවති ආරක්ෂිතම රටක් වූ ඉක්වදෝරය වසර කිහිපයක් ඇතුළත කලාපයේ භයානකම රටක් බවට පත්ව තිබේ.




2023 වසරේදී දක්ෂිණාංශික නායකයෙකු වන නොබෝවා බලයට පත්වීමෙන් පසු අමෙරිකාව සහ ඉක්වදෝරය අතර ආරක්ෂක සහයෝගීතාවය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. වසා දමා ඇති අමෙරිකානු හමුදා කඳවුරක් යළි විවෘත කිරීමට ජනාධිපතිවරයා පසුගිය වසරේදී උත්සාහ කළද, විදේශීය කඳවුරු තහනම් කිරීමේ නීතිය වෙනස් කිරීමට එරෙහිව නොවැම්බර් මාසයේ පැවති ජනමත විචාරණයෙන් එරට ජනතාව ඊට විරුද්ධත්වය පළ කළහ. කෙසේ වෙතත්, මැන්ටා (Manta) වරාය නගරයේ පිහිටි පැරණි අමෙරිකානු හමුදා කඳවුර වෙත තාවකාලිකව ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් අනුයුක්ත කරන බව අමෙරිකාව පසුගිය දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේය.