t20-world-cup-england-away---final-match-between-india-and-navasinth

බ්‍රහස්පතින්දා (මාර්තු 5) මුම්බායි නුවරදී පැවති ලකුණු බහුල විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 7කින් පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායම, සිය ලෝක කුසලාන කිරුළ රැකගැනීමේ ගමනේ තවත් එක් පියවරක් ඉදිරියට තැබීමට සමත් විය. මෙම තියුණු ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, එහිදී ඔවුන් නවසීලන්තය සමඟ තරග වැදීමට නියමිතය.




කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම, මුම්බායි හි වාන්කඩේ ක්‍රීඩාංගණයේදී ලකුණු 253ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය. ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මාගේ කඩුල්ල ඉක්මනින්ම දැවී ගියද, ඉන්දීය පිතිකරුවෝ පවර්ප්ලේ (Powerplay) අවස්ථාව තුළ ලකුණු 67ක් රැස් කරමින් තරගයේ පාලනය සියතට ගත්හ. සංජු සැම්සන් ලකුණු 15ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩපන්දුවක් හැරී බෘක් අතින් ගිලිහී යාමේ වාසිය උපරිමයෙන් ලබා ගත් ඔහු, පන්දු 42කදී වේගවත් ලකුණු 89ක් රැස් කරමින් ඉන්දීය ඉනිමේ කොඳුනාරටිය බවට පත් විය.

සැම්සන්ට අනගි සහයක් ලබා දුන් ඉෂාන් කිෂාන් සහ ශිවම් දූබේ (ලකුණු 43) එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. ආදිල් රෂීඩ් විසින් සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල දවා ගනිමින් එංගලන්තයට යම් බලාපොරොත්තුවක් ලබා දුන්නද, අවසන් පන්දුවාර කිහිපය තුළ ක්‍රියාත්මක වූ හර්දික් පාණ්ඩ්‍යා සහ තිලක් වර්මා වේගවත් පහරවල් කිහිපයක් එල්ල කළහ. විශේෂයෙන්ම ජොෆ්රා ආචර්ගේ පන්දුවාරයකට තිලක් වර්මා එල්ල කළ හයේ පහර තුන සහ හර්දික් පාණ්ඩ්‍යා අවසන් පන්දුවාරයේදී එල්ල කළ දැවැන්ත හයේ පහරවල් හේතුවෙන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 253ක් වැනි දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා විය.




මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර, ෆිල් සෝල්ට්, හැරී බෘක් සහ නායක ජොස් බට්ලර් යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාම පවර්ප්ලේ අවස්ථාව තුළදීම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී හර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිත් බුම්රා සහ වරුන් චක්‍රවර්තී විසින් එම කඩුලු දවා ගනිමින් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. කෙසේ වෙතත්, යොවුන් ක්‍රීඩක ජේකබ් බෙතෙල් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තේය.

විල් ජැක්ස් (ලකුණු 35) සමඟ එක්ව එංගලන්ත ඉනිම ගොඩනැගූ බෙතෙල්, පන්දු 48කදී විශිෂ්ට ශතකයක් (ලකුණු 105) වාර්තා කරමින් තරගය නැවතත් සමබර තත්ත්වයකට ගෙන ආවේය. ඔවුන් දෙදෙනාගේ වේගවත් සම්බන්ධතාවය හේතුවෙන් තරගයේ අවසන් භාගයේදී එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු මතු වුවද, ජස්ප්‍රිත් බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. විශේෂයෙන්ම බුම්රා ක්‍රියාත්මක කළ 16 වැනි සහ 18 වැනි පන්දුවාරවලදී එංගලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වන අතර, අවසන් පන්දුවාරයේදී ලකුණු 30ක් ආරක්ෂා කරගැනීමේ වගකීම භාරගත් ශිවම් දූබේ එංගලන්ත ඉනිම කඩුලු 7කට ලකුණු 246කට සීමා කරමින් ඉන්දියාවට තියුණු ජයග්‍රහණයක් හිමිකර දුන්නේය.