social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට සහය පළකරමින් අද (18) දිනයේ ගාල්ල ප්‍රදේශයේදී මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි.




මීට දින කිහිපයකට පෙර, එනම් පසුගිය 14 වනදා මහරගම ප්‍රදේශයේදී ද මෙවැනිම අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ අධිකරණමය චෝදනාවන්ය.




කෙසේ වෙතත්, මෙම අත්සන් කිරීමේ ව්‍යාපාරය පිටුපස දේශපාලනික අරමුණක් පවතින බවට සමාජ මාධ්‍ය තුළ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.

විශේෂයෙන්ම, මෙම පරීක්ෂණ හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම හෙළිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියකින් පසුවන බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණින් මෙවැනි ජනතා විරෝධතා මවාපෑමට ඔවුන් උත්සාහ කරන බවත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.



මෙම සිදුවීම සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, බහුතරයක් ජනතාව මෙම පෙත්සම් ව්‍යාපාරය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවයි.

මෙවැනි අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන්නේ නම් එය පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් මීගමුව, කටුවාපිටිය වැනි ප්‍රදේශවලට ගොස් සිදුකරන ලෙස බොහෝ පිරිසක් අභියෝග කර තිබුණි.

සැකකරුවෙකු නිවැරදි නම් එය අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බවත්, මෙලෙස පෙත්සම් අත්සන් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම අනුමත කළ නොහැකි බවත් වැඩිදෙනෙකුගේ මතය වී තිබේ.

එසේම, අතීතයේදී යුද ජයග්‍රහණයට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා වැනි හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගත් අවස්ථාවලදී මෙවැනි දේශප්‍රේමී කැක්කුමක් නොතිබුණේ මන්දැයි ඇතැම් පරිශීලකයින් ප්‍රශ්න කර ඇත.

එක් කොමෙන්ටුවක මෙසේ දැක්වුණි.

"බලය වෙනුවෙන් දාපු ඒ ම්ලේච්ඡ සෙල්ලම අද මුළු ලෝකයම දන්නවා. රාජපක්ෂලාට ආයේ බලයට එන්න ඕන වුණාම, සුරේෂ් සලේ වගේ බුද්ධි ප්‍රධානීන් එක්ක එකතු වෙලා මේ රට ලේ විලක් කළා. පල්ලි ඇතුළේ වැඳගෙන හිටපු අහිංසක දරුවෝ, අම්මලා තාත්තලා 250කගේ හුස්ම ටික බිල්ලට දුන්නේ මුන් මේ ගහපු ජරා දේශපාලන ගේම් එකට. 'ජාතික ආරක්ෂාව' කියන වචනෙන් මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහලා, අහිංසක මිනිස්සුන්ගේ ලේ මතින් පුටුවලට ගිය උන්ට සොබාදහමවත් සමාවෙන්නේ නෑ. ඒ අහිංසක ඇස් වලින් වැටුණු හැම කඳුළු බිඳුවකම සාපය, බලය වෙනුවෙන් ලේ බීපු රාජපක්ෂලාටත්, මේ පාපෙට හවුල් වෙච්ච සලේ ඇතුළු හැම එකාටමත් පණපිටින් විඳවන්න දෙන දවස වැඩි ඈතක නෑ. සත්‍යය කවදාහරි දිනනවා"

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බවත්, පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ අහිංසක ජීවිතවලට යුක්තිය ඉටුකිරීම මිස දේශපාලන අවශ්‍යතා මත සැකකරුවන් බේරාගැනීමට උත්සාහ නොකළ යුතු බවත් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව අවධාරණය කර තිබේ.

සුළු පිරිසක් මෙම නිලධාරියා රණවිරුවෙකු ලෙස හඳුන්වමින් ඔහුට සහය පළ කර තිබුණද, සමස්තයක් ලෙස ගත් කල සමාජ මාධ්‍ය තුළින් මතුවන ප්‍රබල හඬ වන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියට ඉඩදිය යුතු බව සහ සැබෑ සත්‍යය රට හමුවේ අනාවරණය විය යුතු බවයි.

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale

social-media-reactions-to-the-galle-signature-campaign-to-save-sale